11th November 2021 19:07:04 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (11) දින තවත් එක් සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාවට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකායේ අනෙකුත් සාමාජිකයින් ද එක්වූහ. මෙම සාකච්ඡාවේදී කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳ සාකච්ඡා කළහ.
එහිදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් දක්වමින් පසුගිය කාල වකවානුව තුළ ගමන් බිමන්, මහජන රැස්වීම්, මංගල උත්සව සහ අනෙකුත් උත්සව සඳහා රජය විසින් පනවා තිබූ සීමාවන් ඉවත් කරන ලද්දේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ අඩුවීමක් පෙන්නුම් කළ නිසා බව පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 500 ත් 700 ත් අතර සුළු වැඩිවීමක් මේ වනවිට පෙන්නුම් කරන බවත් එයට හේතුව පසුගිය දින කිහිපය තුළ, රැස්වීම්, මංගල උත්සව, අවමංගල්‍ය කටයුතු, උත්සව සහ කඨින පූජා ආදිය පැවැත්වීමේදී නිසි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම බවත් එතුමන් වැඩිදුරටත් පැවසුවේය.
“මිනුවන්ගොඩ, තඹුත්තේගම, මොණරාගල, හම්බන්තොට සහ අනුරාධපුරය යන ප්‍රදේශවල තැනින් තැන කොවිඩ් - 19 ආසාදිත පොකුරු කිහිපයක් දැකගත හැකි බැවින් එම තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවලදී ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයාමේ ප්‍රවණතාවයක් පවතී. එබැවින් පනවා තිබූ සීමාවන් සම්පූර්ණයෙන් ඉවත් කර ඇතත් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් දැඩි ලෙස පිළිපදිමින් කටයුතු කරන ලෙසද” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසීය.
එහිදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මරණ අනුපාතිකය අඩුවීම සහ PCR පරීක්‍ෂණ පැවැත්වීම, විශ්වවිද්‍යාල සහ ආයුර්වේද විශ්වවිද්‍යාල සිසුන්ට, විදේශ රැකියා අපේක්‍ෂිතයින් සඳහා එන්නත් ලබාදීම, තෙවන එන්නත ලබාදීම (booster), රාජ්‍ය නිලධාරීන්ට සහ රාජ්‍ය ආයතනවල සේවකයින් සඳහා එන්නත් ලබාදීම කඩිනම් කිරීම, ගෘහස්ථ නිරෝධායන ක්‍රියාවලිය සහ සාමාන්‍ය නිරෝධායන ක්‍රියාපටිපාටි මෙන්ම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පාලනය සඳහා වන රජයේ යාන්ත්‍රණය පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය.
සෞඛ්‍ය බලධාරීන් සහ විශේෂඥයින් ඇතුළු කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකායේ සාමාජිකයින් මෙම මාරාන්තික වෛරසය පිලිබඳ සිය අදහස් දක්වමින් කොවිඩ් - 19 වෛරසයේ සම්ප්‍රේෂණ රටා සහ විදේශ රටවලින් හමුවන විවිධ ප්‍රභේද පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද ගෝලීය වශයෙන් පවතින කොවිඩ් - 19 වෛරසයේ වත්මන් තත්ත්වය සම්බන්ධ සංඛ්‍යාලේඛන, වැළැක්වීමේ පියවර සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ ආදි කරුණු පිළිබඳව ද පැහැදිලි කරමින් සාකච්ඡාවට දායක විය.