Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2021 13:50:10 Hours

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට යුද්ධ හමුදා භටපිරිස් සහන සලසයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ පසුගිය පැය 24 පුරා ඇඳහැළණු ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් පීඩාවට පත්වු ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා මේ වනවිට යොදවා සිටියි.

ඒ අනුව, අද (10) දින මධ්‍යහන වන විට දිවයින පුරා උද්ගතව ඇති ගංවතුර උවදුරෙන් දිවුලපිටිය, වැලිහිඳ ග්‍රාම නිලධාරි වසමේ යකදගල්ල ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.

14 වන සේනාංකයේ සේනාංකාධිපති ලබාදුන් උපදෙස් මත එම සේනාංකය යටතේ ස්ථාපිත 143 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඇතිවු හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් 35 ක ජනතාව එම ප්‍රදේශයේ ඉවත් කර ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කරන ලදී.

අවතැන් වූ පවුල්වල සාමාජිකයින් යුද්ධ හමුදා බෝට්ටු යොදාගනිමින් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමෙන් අනතුරුව එම පුද්ගලයින්ට පිසූ ආහාර පාර්සල් ලබාදීමට ද භටපිරිස් කටයුතු කළහ.  

මේ අතර, පසුගිය පැය 24 තුළ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනයත් සමඟ යාපනය අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර, ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව සිය නිවෙස් සහ දේපළ අත්හැර ආරක්‍ෂිත ස්ථාන කරා ගොස් ඇත.  

පවතින අයහපත් කාලගුණික තත්ත්වය වර්ධනය වීමත් සමඟ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51, 52 සහ 55 වන සේනාංකවල භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී අවතැන් වූ ජනතාව ඔවුන්ගේ ඥාතීන් සහ මිතුරන්ගේ නිවෙස් වෙත සහ පොදු ස්ථාන වෙත රැගෙන යාමට සිය දායකත්වය දැක්වූහ. එසේම, ප්‍රදේශයේ අවහිර වී තිබූ ජල මාර්ගයන් පිරිසිදු කර ජලය ගලාබැසීමට මෙන්ම අවහිර වී තිබූ මාර්ගවල රථවාහන ගමනාගමනය පාලනය කිරීමට ද යුද්ධ හමුදා භටපිරිස් සිය සහයෝගය දැක්වූහ.

මීට අමතරව, එම ප්‍රදේශවල පීඩාවට පත් ජනතාවට පිසූ ආහාර, පානීය ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට පියවර ගත් භටපිරිස් ඔවුන්ගේ නිවෙස් හා දේපළවලට ආරක්‍ෂාව සැපයීමට ද කටයුතු කරන ලදී.  

පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට කටයුතු කරන ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු එම බලප්‍රදේශයේ සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් වෙත උපදෙස් ලබාදුන්නේය. ඒ අනුව ක්‍රියාත්මක වූ 51, 52 සහ 55 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් පීඩාවට පත් සියලුම සිවිල් වැසියන්ට සහන සැලසීම සඳහා අවැසි සහයෝගය ලබාදෙන මෙන් භටපිරිස් වෙත උපදෙස් ලබාදුන්හ.

මේ අතර, යුද්ධ හමුදා භටපිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ අනෙකුත් අදාළ පාර්ශවයන් සමඟ සම්බන්ධතාවයෙන් යාපනය අර්ධද්වීපයේ ගංවතුර තර්ජනයට මුහුණ දී සිටින සියලුම ජනතාවට තවදුරටත් සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටියි.

58 වන සේනාංකයේ භටපිරිස් පුත්තලම ප්‍රදේශයේ අධික වර්ෂාපතනයත් සමඟ ඇතිවු ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට පසුගිය අඟහරුවාදා (9) දින පිසූ ආහාර පාර්සල් 300 කට වැඩි ප්‍රමාණයක් බෙදාදුන්හ.  

එමෙන්ම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 213 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් නබඩගස්දිගිලිය ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් සමග එක්ව නබඩගස්දිගිලිය වැවේ වාන් දොරටු මත සිරවී කැලි කසල ඉවත් කර වාන් දොරටු සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කළහ. මෙම ව්‍යාපෘතිය මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනු යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරන ලදී.  

මෙම ව්‍යාපෘතිය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක සහ 213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.ජී.ජේ.එන්. ආරියතිලක ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් සිය ශ්‍රමදායකත්වය දැක්වූහ. මෙම ව්‍යාපෘතිය 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් එස්.ඩී. රත්නසිරි ගේ අධික්‍ෂණය යටතේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.