09th November 2021 19:11:28 Hours
14 වන ඉංජිනේරු සේවා බලකා කඳවුර ආසන්නයේ ස්ථාපිත කළ යුද්ධ හමුදා මූලස්ථානයේ නව මුළුතැන්ගෙය අද (09) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ඉන්දික පෙරේරා ගේ ආරාධනාවකට අනුව මෙම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමරු ඵලකය නිරාවරණය කර ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් නව මුළුතැන්ගෙය විවෘත කරන ලදී.
ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ගෑස් උඳුනක් දල්වා නවීන උපකරණ වලින් සමන්විත භටපිරිස් 5000 කට එකවර ආහාර පිසීමේ හැකියාව ඇති නව මුළුතැන්ගෙයි ආහාර පිසිමේ කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කළේය.
14 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් ඉදිකරනු ලැබු නව මුළුතැන්ගෙය නවීන ශීතකරණ, බොයිලේරු, පොල් ගෑම සඳහා භාවිතා කරන උපකරණ, ඇඹරුම් යන්ත්‍ර සහ උඳුන් ආදී උපකරණ වලින් සමන්විත වේ.
යුද්ධ හමුදාධිපතිතුමන් නව මුළුතැන්ගෙයි පරිශ්‍රයේ රැඳීසිටි කාලය තුළ එහි ඇති එක් එක් අංශ නිරීක්‍ෂණය කළ අතර ආහාර පිසීමේ කටයුතු සඳහා යොදවා සිටින සූපවේදීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තේය.
මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ඉන්දික පෙරේරා විසින් පිළිගන්නා ලදී. තවද, පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.