Header

Sri Lanka Army

Defender of the Nation

09th November 2021 11:23:28 Hours

දොඹේමඩ පස් කන්දට යටවු නිවැසියන් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මුදාගනී

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අද (09) දින අලුයම 04.30 ට පමණ රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට කඩාවැටුණු පස් කන්දකට යට වූ එකම පවුලේ සාමාජිකයින් සිවුදෙනෙකු මුදාගැනීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් යුහුසුළුව කටයුතු කරන ලදී.

සිද්ධිය පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව, කෑගල්ල ප්‍රදේශයේ ස්ථානගත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් 2 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 32 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අඛණ්ඩව ඇඳහැළෙන වර්ෂාපතනය මධ්‍යයේ එම ස්ථානය කඩිනමින් පැමිණ පස් කන්දට යටවු නිවැසියන් සොයා මෙහෙයුමක් දියත් කළහ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ පස් කන්දට යට වු නිවසේ සිටි පුද්ගලයින් සිව්දෙනා මුදාගැනීමට භටපිරිස් සමත් වු අතර යුද්ධ හමුදා වාහන යොදාගනිමින් ඔවුන් කඩිනමින් රඹුක්කන රෝහල වෙත රැගෙන යාමට භටපිරිස් කටයුතු කළහ.

කෙසේ වෙතත්, සිද්ධියෙන් බරපතල තුවාල ලබා සිටි එම පවුලේ මව වන 36 හැවිරිදි සුරංගිකා ලක්මාලි හා 8 හැවිරිදි කසුනි භාග්‍යා සහ මධූෂි යන දියණියන් රෝහල්ගත කරන විටත් ජීවිතක්‍ෂයට පත්ව සිටි බව වාර්තා වේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම පවුලේ පියා වන 46 හැවිරිදි සුදත් මාරසිංහ මහතා මේ වනවිට රඹුක්කන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ, 611 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක උඩඕවිට සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේ. අතුකෝරල ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් නිවසට කඩා වැටුණු පස් ඉවත් කරමින් නිවසේ ඇති බඩුබාහිර ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටිති.