Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 14:49:49 Hours

යාපනයේ භටපිරිස් නිෂ්පාදනය කළ කාබනික පොහොර ටොන් 50 ක් යාපනයේ ගොවීන් අතර බෙදාදෙයි

අතිගරු ජනාධිපතතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව දියත් කරනු ලබන යුද්ධ හමුදාවේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරමින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය විසින් නිෂ්පාදනය කළ කාබනික පොහොර ටොන් 50 ක් අද (03) දින උදෑසන යාපනයේ පලාලි පිහිටි යුද්ධ හමුදා ගොවිපලේ පැවැති උත්සවයක් අතරතුරදී, යාපනය ප්‍රදේශයේ ගොවීන් 30 දෙනෙකු අතර බෙදාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාවට සහභාගී වූ අතර තවද, මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යුද්ධ හමුදාව විසින් එම ප්‍රදේශවල ගොවීන්ගේ ප්‍රයෝජනයට මෙන්ම එළවලු හා වී ඇතුළු විවිධ බෝග වගාකරන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ භාවිතය සඳහා කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාවට නැංවිණි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර ටොන් 86.9 ක තොගයක්ද මේ ආකාරයෙන්ම එම ආරක්‍ෂක සේනා ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ‘ලක් පොහොර’ ආයතනය වෙත පසුගිය දා භාරදීමට කටයුතු කරන ලදී.

පලාලි යුද්ධ හමුදා ගොවිපළ තුළ ස්ථාපිත කාබනික පොහොර නිෂ්පාදන ඒකකය නිල වශයෙන් විවෘත කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම පොහොර ප්‍රතිලාභීන් 30 දෙනෙකු වෙත සංකේතාත්මකව එහිදි භාරදුන්නේය. මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අරෝෂ් රාජපක්‍ෂ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. එම පරිශ්‍රයේ නිරික්‍ෂණ සංචාරයක නිරත යුද්ධ හමුදාධිපතිතුමන් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගනු ලබන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ද නිරීක්‍ෂණය කළේය.

යුද්ධ හමුදාව මෙම ජාතික කර්තව්‍යයට සිය දායකත්වය ලබාදෙමින් මේ වනවිටත් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර නැගෙනහිර පළාත් භටපිරිස් විසින් එය මේ වනවිටත් සාර්ථක ලෙස දියත් කර ඇති බව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එහිදි අදහස් දක්වමින් පැවසීය. “පලාලි පිහිටි පොහොර නිෂ්පාදන ඒකකය ස්ථාපිත කර එහි පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කල පසු අර්ධද්වීපයේ ගොවීන්ට දියර පොහොර ලීටර් 4000 ක් පමණ නිෂ්පාදනය කිරීමට යුද්ධ හමුදාවට හැකියාව පවතී” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

යාපනය අර්ධද්වීපයේ කාබනික පොහොර තොගයක් ප්‍රදේශයේ ගොවීන් අතර බෙදාහැරීම සිදු කළ පළමු අවස්ථාව මෙය වන අතර මෙම අවස්ථාවට තවත් සුවීශේෂිත්වයක් එක් කරමින් අද (3) දින පෙරවරුවේ යුද්ධ හමුදා ගොවිපළ තුළ පිහිටි කාබනික පොහොර කර්මාන්තශාලාවක් ද විවෘත කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පහසු කිරීම සඳහා නව යන්ත්‍ර හතරක් නිර්මාණය කර ඇති අතර එමඟින් තවදුරටත් එම ක්‍රියාවලිය සඳහා මිල අධික යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට අවශ්‍ය නොවනු ඇත. එම නව යන්ත්‍ර අතර 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලබාදුන් තාක්‍ෂණික සහාය ඇතිව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි I ලුතිතන් කර්නල් පී.ඩී.එල්.ඒ.සී සිරිසේන විසින් නිර්මාණය කරන ලද කාබනික පොහොර නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය ඇඹරුම් යන්ත්‍රයක් සහ පොහොර නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන එකලස් කිරීමේ යන්ත්‍රයක් ද වේ.