Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 20:03:29 Hours

සංහිඳියාව සංකේතවත් කරමින් ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානයේ ප්‍රථම ‘කඨින’ පූජාව අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි

දීර්ඝ කාලයක් පූරාවට ගරා වැටෙමින් පැවැති පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් සහිත කූරගල ලෙන් විහාරය නමින් ප්‍රචලිත බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි පූරගල රජමහා විහාරයේ ශ්‍රී විභූතිය හා ඓතිහාසික උරුමය යළි පිළිඹිබු කරමින් එම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර ‘ශාසනයට’ පූජා කිරීමෙන් පසුව පැවැත්වෙන ප්‍රථම ‘කඨින දුශ්‍රය’ පූජා කිරීමේ උත්සවය නොවැම්බර් මස 6 සහ 7 දෙදින පුරා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි.

කූරගල රජමහා විහාරයේ සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් විසින් මීට වසරකට පමණ පෙරාතුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රාග් ඓතිහාසික වටිනාකමක් සහිත කූරගල රජමහා විහාරස්ථානය, සමගිය සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරිව බෞද්ධ සහ අනෙකුත් සියලු ආගමික ප්‍රජාවගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් ප්‍රතිසංස්කරණය කරන ලදී.

‘කඨින දුශ්‍රය’ පූජා කිරීමේ උත්සවයට සමගාමීව සර්ව රාත්‍රික සෙත් පිරිත් සඡ්ඣායනාවක් ඉකුත් සෙනසුරාදා (06) දින විහාරස්ථාන පරිශ්‍රයේ පිහිටි නව ධර්ම ශාලාවේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විහාරස්ථාන පරිශ්‍රයේ විදුලි පහන් ආලෝකමත් කිරීමෙන් අනතුරුව බුද්ධ පූජාවේ ගිලන්පස පූජා කර ආශිර්වාද ලබාගත්තේය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් පිරිවානා පොත් වහන්සේ සමඟ සධාතුක කරඬුව පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවීමෙන් අනතුරුව පිරිත් සජ්ඣායනා කිරිම සඳහා වැඩමවා වඳාළ මහා සංඝරත්නය වෙත ගෞරවයෙන් යුතුව ආරාධනා කළහ.

‘කඨින දුශ්‍රය’ පූජා කිරිමේ උත්සවයට සමගාමීව පැවති ධර්ම දේශණාව පැවැත්වීම සඳහා යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සභාපති මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා විසින් මෙම ඓතිහාසික විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් වෙත දැහැත්වට්ටිය පූජා කර ගෞරවයෙන් යුතුව ආරාධනා කළහ.

එහිදී වැඩමවා වඳළ මහා සංඝරත්නය වෙනුවෙන් අනුශාසනාවක් සිදුකළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන්, ක්‍රිස්තු පූර්ව 2 වන සියවස දක්වා දිවෙන ගල් ලෙන් සහිත මෙම පූරාණ බෞද්ධ ආරණ්‍ය සේනාසනයේ නටඹුන්, මුල් මානව ජනාවාස ඇතුළු මෙම පුදබිමේ පෞරාණික වටිනාකම පිළිබඳ විස්තර කළහ.

මෙම ‘කඨින දුශ්‍රය’ පූජා කිරීමේ ප්‍රධාන උත්සවය ඉරිදා (07) දින පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමීව සෙනසුරාදා (06) දින පැවැති ආගමික වැඩසටහන අතරතුර ‘පහන්කන්ද තෙරුවන් වන්දනාව’, ධර්ම දේශනා, බුද්ධ පූජාව සහ ‘චතුමදුර පූජාව’ ඇතුළු පිංකම් රැසක් පැවැත්විණි.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශන්ට අනුකූලව පැවැති මෙම ආගමික පූණ්‍ය උත්සවය සඳහා මහා සංඝරත්නය, සබරගමු පළාත් ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරින් සහ සැදැහැවත් බෞද්ධ පිංවතුන් සහභාගි වූහ.