Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2021 05:52:03 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

විජයබාහු පාබල රෙජිමේන්තුවේ 20 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් නිශාන්ත මානගේ නොවැම්බර් මස 05 වන දින බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන්, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සුමල් හේමරත්න විසින් ප්‍රධාන දොරටුව අභියසදී උණුසුම් අයුරින් පිළිගත්තේය. ඉන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය භටපිරිස් විසින් නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත පිරිනැමුවේය. ඉන් පසුව නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, රට වෙනුවෙන් දිවිපිදු විජයබාහු පාබල රෙජිමේන්තුවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය සහ පරම වීර විභූෂණ ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කළේය.

ඉන් අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව රෙජිමේන්තු අධිපතිතුමන් සමුහ ඡායාරූපයකට ද එක්විය. ඉන් පසුව, නව රෙජිමේන්තු අධිපතිතුමන් රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ‘Salute’ උත්සව ශාලාවේදී භටපිරිස් ඇමතූවේය. මෙම අවස්ථාව මාර්ග ගත ක්‍රමවේද ඔස්සේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ සියලුම බලඇණි වල විකාශය කෙරිණි.

මීට ප්‍රථම 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මේ වනවිට ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක ධූරය හොබවනු ලබයි.

වර්ෂ 1987 ජූලි මස 21 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වු මේජර් ජෙනරල් නිශාන්ත මානගේ කොළඹ සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මුලික යුද පුහුණුව හදාරා වර්ෂ 1989 ජූනි මස 23 වන දින දෙවන ලුතිනන් වරයෙකු ලෙස අධිකාරියට පත් වීමෙන් අනතුරුව 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි. මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සිය යුද්ධ හමුදා දිවිය තුලදී කැලිෆෝනියාවේ නාවික පශ්චාත් උපාධි විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපද වර්ජීනියා මැරීන් කෝ(ර්) විශ්වවිද්‍යාලය (USA/Marin Corps University Virginia) සහ කැලණිය විශ්වවිද්‍යාලය වෙතින් පිරිනමන පශ්චාත් උපාධි වලින් පිදුම් ලබා ඇත.