Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2021 20:43:13 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් නව ආඥාපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් 16 වන ආඥාපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් සංජය වනසිංහ පසුගිය අඟහරුවාදා (04) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් සංජය වනසිංහ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය භටපිරිස් විසින් පුදකිරීමෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද එතුමන් එක්විය.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් නව ආඥාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම අවස්ථාව සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව්, 57, 59, 64, 66 සහ 68 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් මාණ්ඩලික නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් සංජය වනසිංහ යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් ධුරය හෙබවිය. මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරල් සිසිර පිලපිටිය යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් සංජය වනසිංහ මෙම ධුරයේ රාජකාරි භාරගත්තේය.