05th November 2021 16:02:33 Hours
51 වන සේනාංකයේ මූලිකත්වයෙන් යාපනය, චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු සඳහා තවත් නව නිවසක් ඉදිකිරීම සඳහා පසුගිය බදාදා (03) දින මුල්ගල් තබන ලදී. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බලප්‍රදේශයේ සිදුකරනු ලබන සංචාරය අතරතුර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූවේය.
යාපනය ප්‍රදේශයේ ප්‍රසිද්ධ දානපතියෙකු වන ත්‍යාගේන්ද්‍රන් වාමදේව මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත සිදුකරනු ලබන මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබයි. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්‍ෂණික හා ඉංජිනේරු දැනුම 51 වන සේනාංකයට අයත් 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් සිදුකරති.
චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි නිවාසලාභියා පුනරුත්ථාපනයට ලක්ව සිට 2021 ජුනි මස 24 දින ජනාධිපති සමාව මත නිදහස් කරනු ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන අතර සිය දෙමාපියන් ජීවතුන් අතර නොසිටි බැවින් සිය එකම සහෝදරිය සමඟ ඔහු තාවකාලික නවාතැනක පදිංචිව සිටියි.
ඒ පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම නව නිවස ඉදිකිරීම සඳහා එතුමන් 51 වන සේනාංක මූලස්ථානය වෙත උපදෙස් ලබාදෙන ලදී.
මෙම මුල්ගල් තැබීමේ උත්සවයෙන් අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නිවාසලාභියා සමඟ සුහද කථාබහක ද නිරත වූවේය.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ හිටපු එල්.ටී.ටී.ඊ සටන්කාමීන් කණ්ඩායමක් සමඟ පැවැත්වූ සුහද සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම නව නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ විය. පසුගිය ජූනි මස ජනාධිපති සමාව යටතේ නිදහස් කළ ඔවුන්ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් යුද්ධ හමුදාව වෙතින් ඔවුන්ට මූල්‍යමය ත්‍යාගයන් ද පිරිනමන ලදී.
එම අවස්ථාවේදී, ඔවුන්ගේ ජීවනෝපාය කටයුතු හෝ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් යම්කිසි සහයෝගයක් අවශ්‍ය වූ විටෙක ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සමඟ සම්බන්ධතාවය පවත්වාගන්නා ලෙස ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන් වෙත ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව, නව නිවසේ නිවාසලාභියා විසින් තම සහෝදරිය සමග ස්ථිර නිවසක් නොමැතිව සිටින බව යුද්ධ හමුදාව වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම නව නිවස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.
51 වන සේනාංක මූලස්ථානය වෙතින් පසුගිය වසර 4 තුළ එම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත සිවිල් වැසියන් වෙනුවෙන් නව නිවාස 45 ක් ඉදිකර ඇති අතර සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් ගේ අධික්‍ෂණය යටතේ තවත් නව නිවාස 04 ක ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙමින් පවතී.