Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2021 10:31:53 Hours

උඩුවිල් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් තවත් නව නිවසක්

51 වන සේනාංකය වෙතින් යාපනය, උඩුවිල් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය බදාදා (03) දින සංකේතාත්මකව එම නිවාසලාභින් වෙත පවරාදෙන ලදී. හින්දු චාරිත්‍ර වාරිත්‍රයන් මධ්‍යයේ පැවති මෙම උත්සවය සඳහා යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූවේය.

යාපනය අර්ධද්වීපයේ පිහිටි ‘American Ceylon Mission’ ක්‍රිස්තියානි දේවස්ථානයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ආරම්භ කරන ලද එම ව්‍යාපෘතිය සඳහා 9 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්වල ශ්‍රම දායකත්වය, තාක්‍ෂණික හා ඉංජිනේරු දැනුම ලබාදුන්හ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර නිවාසලාභී මහේන්ද්‍රරාසා අමිර්තමලර් (Mahendrarasa Amirthamalar) මහත්මිය වෙත නව නිවසේ යතුරු භාරදෙන ලදී. වයස අවුරුදු 32 ක සහ 20 ක දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඇයගේ ස්වාමිපුරුෂයා පිළිකා රෝගයක් හේතුවෙන් මීට අවුරුදු 5 කට පමණ පෙර මියයාම හේතුවෙන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවමින් සිටිනු ලබයි.

සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් මෙම පවුලේ නිවාස අවශ්‍යතාවය පිළිබඳ 51 වන සේනාංකයේ අවධායන යොමුවීමෙන් අනතුරුව මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

මෙම උත්සවය අතරතුර, නිවාසලාභියා වෙත වියළි සලාක පාර්සල්, ගෘහ භාණ්ඩ ඇතුළු ත්‍යාග පාර්සල් කිහිපයක් ද පරිත්‍යාග කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් 2010 වසරේ සිට මේ දක්වා එම අර්ධද්වීපය තුළ අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් නව නිවාස 754 ක් ඉදිකරදීම සඳහා සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදී ඇත. එමෙන්ම, රජය, නිවාස අධිකාරිය, සිවිල් සංවිධාන, පරිත්‍යාගශීලීන් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ අනුග්‍රාහකත්වය මත නව නිවාස 556 ක් ඉදිකර අවශ්‍යතා සහිත පවුල් වෙත පරිත්‍යාග කිරීමට ද හැකියාව ලැබී ඇත.

තවත් නව නිවාස 198 ක ඉදිකිරීම් කටයුතු සඳහා යුද්ධ හමුදා භටපිරිස් සිය මූල්‍යමය අනුග්‍රාහකත්වය සපයා ඇත. මේ අතර, චුන්නාකම් ප්‍රදේශයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් වෙනුවෙන් ඉදිකෙරෙමින් පවතින නව නිවස ඇතුළුව තවත් නව නිවාස 6 ක් කරෙයිනගර්, පුත්තූර් නැගෙනහිර, චන්ද්‍රපුරම්, සංගුවේලි සහ වට්ටිරයාන් යන ප්‍රදේශවල දැනට ඉදිකෙරෙමින් පවතී.

මෙම නව නිවස විවෘත කිරීමේ අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.