Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2021 08:45:14 Hours

අයෝග්‍ය කර තිබු තවත් වාහන 25 ක් අළුත්වැඩියා කෙරේ

යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් පරිදි පැය 24 පුරාවටම රාජකාරි නියුතු භටපිරිස් වෙනුවෙන් වැඩි පහසුකම් සැලසීමටත්, රාජ්‍ය භාණ්ඩාගාරයේ අමතර වියදම් අවම කිරීමේත් අරමුණින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික හා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් යාපනය ප්‍රදේශයේ අයෝග්‍ය කර තිබු යුද්ධ හමුදා වාහන 25 ක් අළුත්වැඩියා කර බදාදා (03) දින යුද්ධ හමුදාවේ ප්‍රයෝජනය සඳහා යොදවන ලදී.

මෙලෙස ප්‍රතිසංස්කරණය කරන ලද වාහන යාපනය අර්ධද්වීපයේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක වෙත බෙදාදුන් අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.

එහිදී, බස් රථ 10 ක්, ට්‍රක් රථ 05 ක්, යුනි බෆල් රථ 03 ක්, යතුරු පැදි 05 ක්, ට්‍රැක්ටර් රථයක් සහ කැබ් රථයක් යුද්ධ හමුදාවේ ප්‍රයෝජනය සඳහා පවරාදුන්හ.  

ඒ අනුව, අළුත්වැඩියා කරන ලද වාහන බෙදාදීමේ උත්සවය අතරතුරදී යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සංකේතාත්මකව එම වාහන භාරගත්තේය.

යාපනය අර්ධද්වීපයේ ස්ථාපිත 4 වන ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මධ්‍යම වැඩපල මීට මාස කිහිපයකට පෙර ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු නිරීක්‍ෂණය කරන ලදී. එහිදී, අයෝග්‍ය කර තිබු මෙම වාහන එතුමන්ගේ නිරීක්‍ෂණයට ලක්වු අතර කඩිනමින් ක්‍රියාත්මක වී අවම පිරිවැයකින් එම වාහන ධාවනයට යෝග්‍ය තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන ලෙස භටපිරිස් වෙත උපදෙස් ලබාදුන්හ.  

ඒ අනුව, අළුත්වැඩියා කරන ලද වාහනවල ධාවන තත්ත්වය භාවිතයට සුදුසු බව පරික්‍ෂා කිරීමෙන් අනතුරුව මෙලෙස බෙදාදීමට කටයුතු කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සංකේතාත්මකව එම වාහන භාරදීමෙන් අනතුරුව විදේශ විනිමය සහ වාහන ආනයනය සඳහා වැයවන පිරිවැය අවම කරගැනීම වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් දැක්වූ ආදර්ශමත් දායකත්වය මෙහිදි ඇගයීමට ලක් කරන ලදී.  

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, 4 වන ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.