04th November 2021 12:00:50 Hours
වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටු කර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සඳුදා (01) දින සිය පවුලේ සාමාජිකයින් සමගින් යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
ත්‍රස්තවාදීන්ට එරෙහිව පැවැති සියලුම මානුෂීය මෙහෙයුම් සඳහා අභීතව දායක වු විජයබාහු පාබල රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ සේවය පැසසුමට ලක් කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, උතුරු මානුෂීය මෙහෙයුම් ක්‍රියාත්මක වූ කාල වකවානුවේදී සහ 2009 මැයි මාසයට පෙර පැවැති මානුෂීය මෙහෙයුම් අතරතුර යුදබීමේ සිදුවු සුවිශේෂී මතකයන් සිහිපත් කළේය. එම කාල වකවානුවේ 573 වන බලසේනාව සහ ගුවන් සංක්‍රමික බලසේනාව වෙනුවෙන් එතුමන් සිදුකළ කැපවීම මෙහිදි සිහිපත් කළේය.
මෙම අවස්ථාවට මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ භාර්යාව වන අවන්ති පිලපිටිය මහත්මිය සමගින් එතුමන්ගේ දියණිය වන රන්ශිකා සහ පුත් චිරාත් ද සහභාගී වූහ. එහිදී, කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව පැවැති මානුෂීය මෙහෙයුමේදී රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම උදෙසා මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සිදුකරනු ලැබූ කැපකිරීම පසුපස එතුමන් නන් අයුරින් දිරිගැන්වීමට කටයුතු කළ එතුමන්ගේ භාර්යාව එහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.
“ඔබේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් නිවසේ සියලු වගකීම් ඔබ විසින් තනිවම ඉටුකරමින් සැබෑ දේශප්‍රේමී පුත්‍රයෙකු ලෙස උදාර අරමුණක් වෙනුවෙන් කැපවීමට හිතකර යහපත් මානසිකත්වයක් ඔබ පුළුල් අවබෝධයකින් යුතුව ඔබේ ස්වාමිපුර්ෂයාට නිර්මාණය කළා. එමෙන්ම, දරුවන්ට රැකවරණය සලසමින් ඔවුන් පෝෂණය කිරීමේ සම්පූර්ණ වගකීම ඔබ තනිවම දැරුවා. එසේ නොවන්නට 2009 මැයි මාසයේ අප රණවිරුවන් මාතෘභූමියට හිමිකරදුන් සාමය කිසිදිනක උදා නොවනු ඇත. එම තීරණාත්මක අභියෝගයන් නිහඬව විඳදරාගනිමින් අප රණවිරුවන්ට සහයෝගය සහ දිරිගැන්වීම් ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සියලුම මව්වරුන් සහ බිරින්දෑවරුන්ගේ අමිල මෙහෙවර ඇගයීම සංකේතවත් කිරීම වෙනුවෙන් ඔබ පවුලේ සියලුදෙනාට මෙම අවස්ථාවට ආරාධනා කරනු ලැබූවා” යැයි එහිදී අදහස් දැක්වු ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
මෙම සුහද හමුවේ සමාප්තිය සනිටුහන් කරමින්, මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ අනාගත අපේක්‍ෂාවන්ට සිය සුබපැතුම් එක් කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අසිපතක අනුරුවකින් යුත් සමරු තිළිණයක් සහ ඇගයීම් සහතිකපතක් ද නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සිසිර පිලපිටිය වෙත පිරිනැමුවේය. ඉන් අනතුරුව, සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය සංකේතවත් කරමින් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ද යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සමරු තිළිණයක් එහිදි ප්‍රදානය කළේය.
එම සුහද හමුව අතරතුරදී, අවන්ති පිලපිටිය මහත්මිය ගේ කැපවීම පැසසුමට ලක් කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සංකේතාත්මක ත්‍යාග පාර්සලයක් ද එතුමිය වෙත පරිත්‍යාග කළේය.
මේ වනවිට විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධුරය හොබවන මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ඊට ප්‍රථම ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, පිරිස් පාලන අධ්‍යක්‍ෂ, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ත ආරක්‍ෂක ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරි, 513 වන බලසේනාවේ බලසේනාධිපති, ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති, කර්නල් යුද සේවා ලේකම්, හයිටි රාජ්‍යයේ 10 වන එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් කණ්ඩයේ අණදෙන නිලධාරි සහ 573 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු යුද්ධ හමුදාවේ කීර්තිමත් තනතුරු රැසක් හොබවා ඇත.
යුද්ධ හමුදා දිවිය තුලදී දැක්වූ වීරත්වය සහ කැපවීම ඇගයීමට ලක්කරමින් එතුමන් රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම සහ උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලබා ඇත.
වර්ෂ 1986 අගෝස්තු මස 4 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 27 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට ඇතුලත් වූ මේජර් ජෙනරල් සිසිර පිලපිටිය, දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වීමෙන් අනතුරුව 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. 1 වන සහ 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවල අණදෙන නිලධාරි ධූරයන් හෙබවු මේජර් ජෙනරල් සිසිර පිලපිටිය, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ධූරය ද හෙබවිය.