Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2021 14:50:16 Hours

හදිසි ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් බදුල්ල ප්‍රදේශයේ ජනතාවට යුද්ධ හමුදාව සහන සලසයි

පසුගිය පැය 72 ක කාලය තුළ ඇඳහැලුණු ධාරාණිපාත වර්ෂාපතනයත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ දෙහියන්වල ප්‍රදේශය, මුතියංගණ විහාරස්ථානය, ජල සම්පාදන මණ්ඩලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ සුමනතිස්ස ගම යන ප්‍රදේශවලට ඇතිවු ගංවතුර අවදානම සහ ප්‍රදේශයේ පස්කඳු නායයෑමත් සමඟ පීඩාවට පත් ජනතාවට සහය සැලසීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 112 වන බලසේනාවට අයත් 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

බදුල්ල හා ඒ ආසන්න ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවු තද සුළං හේතුවෙන් මාර්ගවල රථ වාහන ගමනාගමනයට මෙන්ම එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ දෛනික කටයුතු වලට ද බාධා එල්ලවිය. එම ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඇතැම් ප්‍රදේශවලින් නායයෑම් ද වාර්තාවිය.

ඒ අනුව ක්‍රියාත්මක වූ 112 වන බලසේනාව යටතේ ස්ථාපිත 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් ප්‍රදේශයේ ගංවතුර අවදානම අවම කිරීම සඳහා ජලය ගලායෑමට හැකිවන පරිදි ජල මාර්ග, අමුණු සහ බෝක්කු පිරිසිදු කිරීමට කටයුතු කළහ. එසේම, පීඩාවට පත් එම ප්‍රදේශයේ ජනතාව කඩිනමින් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යෑමට ද භටපිරිස් අවශ්‍ය පියවර ගනු ලැබීය.

තවද, 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායක ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බලපෑමට ලක්වු ප්‍රදේශවල රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 112 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 42 ක් සහ 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකාය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 57 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. සහන සැලසීමේ කටයුතු 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේ. ජයවීර ගේ අධීක්‍ෂණය යටතේ ඔක්තෝබර් මස 29 සහ 30 යන දෙදින පුරා සිදුකෙරිණි.