26th October 2021 20:10:40 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 32 වන සංවත්සරය ඉකුත් සඳුදා (23) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
එම අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.සී.කේ. පීරිස් උණුසුම් අයුරින් පිළිගත්තේය.
සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදාවේ භටපිරිස් පිරිනැමුවේය.
මෙම සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව, 2020 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින්ගේ පවුල්වල දරුවන් 15 දෙනෙකු සඳහා ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර පහක් සහ ටැබ් පරිඝණක යන්ත්‍ර දහයක් රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සුරතින් පරිත්‍යාග කරන ලදී. මීට අමතරව, මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ සංකල්පයකට අනුව එම රෙජිමේන්තු පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ නව තොරතුරු තාක්‍ෂණ ඒකකය ද මෙම සංවත්සර සැමරුම් දිනයේදී විවෘත කෙරිණි.
තවද, 2021 වසරේ පැවති පාලන පරික්‍ෂාවෙන් ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය හිමිකරගත් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීම ඉන් අනතුරුව සිදු විය. එහි නිත්‍ය බළඇණි අතරින් ප්‍රථම ස්ථානය 11 වන ශ්‍රී ලංකා පබල හමුදාව හිමිකරගත් අතර දෙවන ස්ථානය 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් හිමිකරගත්තේය. ස්වේච්ඡා බළඇණි අතරින් ප්‍රථම ස්ථානය 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් හිමිකරගත් අතර දෙවන ස්ථානය 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් හිමිකරගත්තේය.
මෙම සංවත්සර සැමරුම් උත්සවය වර්ණවත් කරමින් එදින සන්ද්‍යාවේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ බෝ මළුව වටා අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට සහ ප්‍රතිසංස්කරණය කරන ලද දේව මන්දිරය රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි.
ඉන් අනතුරුව, එම රෙජිමේන්තුවේ සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් ඇමතූ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු දිවා භෝජන සංග්‍රහයකට ද එක්වීය.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 32 වැනි රෙජිමේන්තු සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක්ද පැවැති අතර පසුදින උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානය පූජා කරන ලදී.
මෙම සංවත්සර සැමරුම් උත්සවය සඳහා එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ පළමු බලඇණිය ස්ථාපිත කර තිබු පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී වර්ෂ 1989 ඔක්තෝම්බර් මස 23 දින රෙජිමේන්තු ධජය ඔසවා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය ආරම්භ කරන ලදී.