Header

Sri Lanka Army

Defender of the Nation

30th October 2021 10:32:00 Hours

ඓතිහාසික සබඳතා සිහිපත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති සහ රුසියානු හමුදා ප්‍රධානී අතර හමුවක්

රුසියාවේ සංචාරයේ නිරත ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සම්ප්‍රදායානුකූල හමුදා ගෞරවාචාර පිලිගැනීමෙන් පසුව, රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ ප්‍රධාන කාර්යාල සංකීර්ණය වෙත පැමිණි අතර, එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානි උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදි, දෙරට අතර පවතින හමුදා සබඳතා නව පුළුල් තලයකට ගෙන එමින් යාන්ත්‍රික හා තාක්‍ෂණික අංශවලට අදාළ වැදගත් කරුණු දෙපාර්ශවයේ සාකච්ඡාවට ලක්කෙරිණි.

දෙරටේ හමුදා ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාව අතරතුර, ශතවර්ෂ ගණනාවක් පුරා පැවත එන දෙරටේ ඓතිහාසික මතකයන්ද සිහිපත් කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් රුසියානු රජය 2009 මැයි මාසයට පෙර පැවති බෙදුම්වාදී තර්ජන කාලය තුළදි ශ්‍රී ලංකාවට ලබාදුන් තාක්‍ෂණික හා යාන්ත්‍රික සහයෝගිතාවය වෙනුවෙන්ද සිය කෘතඥතාවය අවධාරනාත්මකව පුදකළේය.

දෙරට හමුදා ප්‍රධානීන් අතර ඉකුත් සදුදා (25) දින පැවති සුහද සාකච්ඡාව අතරතුර ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීම සහ යාන්ත්‍රික, ඉංජිනේරු හා තාක්‍ෂණික දැනුම හුවමාරු කරගැනීම වැනි කරුණුද සුහද සාකච්ඡාවේදී සැලකිල්ලට ගැනිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් ආරාධනය පිළිගෙන රුසියාවේ සංචාරයට පැමිණිම පිළිබද සිය ස්තූතිය පුදකල රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානි, පවතින වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද මොස්කව් නුවර පිහිටි ක්‍රෙම්ලිනයේ උද්‍යානයේදී ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත උසස් හමුදා සම්මාන පෙලපාලියක් පිරිනැමිමට හැකිවීම සුවිශේෂි කරුණක් බව හෙතෙම තවදුරටත් පැවසීය.

මෙම සුහද අදහස් හුවමාරුවෙන් අනතුරුව රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරමින් දෙරට අතර සුහදත්වය සංකේතවත් කළේය. ඉනික්බිතිව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් ද රුසියානු හමුදා ප්‍රධානි වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය. මෙම අවස්ථාවට රුසියානු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එකතුව සිටියහ.

ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රුසියාවේ සංචාරය අතරතුර මොස්කව් නුවර පිහිටි උසස් ඒකාබද්ධ යුද අණදෙන පාසල (Higher Combined Arms Command School) හි සේනාවිධායක මේජර් ජෙනරාල් රෝමන් බින්යුකොව් (Major General Roman Binyukov), නාරෝ-ෆොමින්ස්ක් (Naro-Fominsk) ප්‍රදේශයේ පිහිටි 4 වන ආරක්‍ෂක සන්නද්ධ රථ සේනාංකයේ (Guards Tank Division) සේනාංකාධිපති සහ මිහයිලොව්ස්කායා (Mikhailovskaya) පිහිටි හමුදා කාලතුවක්කු විද්‍යාපීඨය (Military Artillery Academy) හි සේනාවිධායක ද හමුවීමට නියමිතය.

රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) 2020 වර්ෂයේ පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරය අතරතුර රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත විවෘත ආරාධනාවක් කළේය. කෙසේ වුවද, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා වගකීම් සහිත කාර්යභාරයක් ඉටුකිරීමට සිදුවීම හේතුවෙන් රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානි විසින් සිදුකල ආරාධනය පසුවට කල්දැමීම සිදුවිය.