Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2021 14:15:00 Hours

ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් යාපනයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඉන්දීයාවේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ (NDC) ප්‍රධාන උපදේශක මේජර් ජෙනරාල් හරි. බී. පිල්ලෙයිගේ (Major General Hari B Pillai) ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් 20 දෙනෙකු සහ ඔවුන්ගේ භාර්යාවන් 14 දෙනෙකුගෙන් යුත් දූත පිරිස ඉකුත් බදාදා (20) දින යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.

ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඉරානය, ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය සහ මැලේසියාව යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිස, යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

යාපනය ප්‍රදේශයේ සංචාරය කළ දුත පිරිස, පලාලි පිහිටි ඉන්දීය සාම සාධක ස්මාරකය වෙත කැටුව යන ලදී. පසුව මේජර් ජෙනරාල් හරි බී පිල්ලේ ඇතුළු දුත පිරිස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

මෙම සංචාරය අතරතුර ඉන්දීය දූත පිරිස මෙරට සාම සාධක රාජකාරීන්වල නිරතව සිටියදී දිවිපිදු වීරෝදාර ඉන්දීය හමුදා වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළහ.

ඉන් අනතුරුව, දූත පිරිස ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත පැමිණියහ. එහිදී “ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වත්මන් කාර්යභාරය” පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදී. මෙම සුහද හමුවේදී, පශ්චාත් යුද සමයේ හමුදාවේ වගකීම් සහ කාර්යභාරය මෙන්ම ප්‍රජා මූලික ව්‍යාපෘති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංහිඳියාව සහ ජනතාව අතර සහජීවනය ඇතිකිරිම පිළිබඳ සංකල්ප වැඩිදියුණු කිරීම සඳහා දියත් කරන ලද ප්‍රජා ව්‍යාපෘතීන් පිළිබඳ අවධානය යොමු කරමින් සාකච්ඡා කරන ලදී.

මෙම සුහද හමුව අවසානයේ දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. යාපනයේ භටපිරිස් විසින් ඉදිරිපත් කරන ලද අලංකාරවත් සංස්කෘතික උත්සවයක් ද දැකබලාගත් දූත පිරිස ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම, දුත පිරිසේ ප්‍රධානී මේජර් ජෙනරාල් හරි බී පිල්ලේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

මෙම සංචාරය සිහිවනු වස් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් ගනු ලැබු සමුහ ඡායාරූපයකට ද දුත පිරිස එක්වූහ.