23rd October 2021 13:00:16 Hours
මුල්ලේරියාව උතුරු ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් මහජන බැංකුවේ පූර්ණ සහයෝගය ඇතිව යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා පසුගියදා මුල්ගල තබන ලදී.
නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම හා ශ්‍රාමදායකත්වය ලබාදෙනු ලබයි.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සූජිව සෙනරත් යාපා ගේ උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්නගේ මඟපෙන්වීම යටතේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කල මෙම නිවසේ ඉදිරි වැඩකටයුතු 144 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එම්.වී. කොඩිතුවක්කු ගේ අධික්‍ෂණය යටතේ සිදුකරනු ලබයි.
මුල්ලේරියාව උතුර ග්‍රාම සේවා වසමේ පදිංචි දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු වන වෙල්ගමගේ සුදර්ශන ප්‍රභාත් මහතා වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත නව නිවසේ ඉදිකිරීම් කටයුතු සති කිහිපයක් තුළ අවසන් කිරීමට භටපිරිස් අපේක්‍ෂා කරයි.
නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 144 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එම්.වී. කොඩිතුවක්කු සහභාගි විය. තවද, එම අවස්ථාවට 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරින් සහභාගි වූහ.
නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලය නියෝජනය කරමින් මහජන බැංකුවේ කොටිකාවත්ත ශාඛාවේ කළමණාකාරතුමන් මෙන්ම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අනුග්‍රාහක ජයසුරිය මහතා සහ එම මැතිණිය සහභාගි විය. මෙම ව්‍යාපෘතිය 144 වන බලසේනාවේ මුලිකත්වයෙන් සිදුකරනු ලබයි.