Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2021 15:00:19 Hours

යුද්ධ හමුදා සංඥා බලකායේ 78 වන සංවත්සරය ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා සංඥා බලකායේ 78 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් ඔක්තෝබර් මස 15 දින සිට 19 දින දක්වා පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.

මෙම සංවත්සර වැඩසටහන් මාලාව ප්‍රධාන සංඥා නිලධාරි මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අශෝක පීරිස් ගේ උපදෙස් මත සංවිධානය කරන ලදී. ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් පැවැති සංවත්සර වැඩසටහන සඳහා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ලලිත් හේරත්, ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් එක්වූහ.

රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමේ සහ ශ්‍රී ලංකා සංඥා බලකායට ආශිර්වාද එක් කිරීමේ අරමුණින් බෞද්ධ, කිතුනු, හින්දු සහ ඉස්ලාමීය ආගමික වතාවත් සංවත්සරයට සමගාමීව පැවැත්විණි.

සංවත්සර වැඩසටහන ආරම්භ කරමින් භික්‍ෂුන් වහන්සේලා 17 නමකගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී. එම අවස්ථාවට ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අශෝක පීරිස් සහ ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සජිවනී පීරිස් මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඔවුන්ගේ කාලත්‍රයින් සහ සෙසුනිලයින් සහභාගි වූහ. සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාව අවසානයේ පසුදා (16) උදෑසන මහා සංඝරත්නය විශයෙහිලා හීල් දානය පූජා කරන ලදී.

සංවත්සර දින (ඔක්තෝබර් 19) උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අශෝක පීරිස්, ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා විසින් පිළිගැනීමෙන් අනතුරුව රෙජිමේන්තු මුලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ශ්‍රී ලංකා සංඥා බලකා භටපිරිස් විසින් එතුමන් වෙත පිරිනැමුහ.

න් අනතුරුව, ශ්‍රී ලංකා සංඥා බලකායේ සියලුම ඒකකවලින් සමන්විත වර්ණවත් ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අශෝක පීරිස් වෙත පුද කළහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබු සමූහ ඡායාරූපයකට එක්වු ප්‍රධාන සංඥා නිලධාරි මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අශෝක පීරිස් ශ්‍රී ලංකා සංඥා බලකායේ 78 වන සංවත්සරය නිමිත්තෙන් භටපිරිස් ඇමතූවේය.

එහිදී, භටපිරිස් ඇමතූ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපතිතුමන් ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවය කරන සියලුදෙනාට සුභපැතුම් එක් කළේය.

පසුව පැවති සංවත්සර දිවා භෝජන සංග්‍රහය අතරතුරදී, පසුගිය වසර දෙක තුළදී ක්‍රීඩා ඉසව් වලින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා සංඥා බලකායේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමුහ.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ලලිත් හේරත්, ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වුහ.

වර්ෂ 1943 ඔක්තෝබර් මස 19 වන දින ආරම්භ කළ සංඥා බලකායේ ඉතිහාසය පළමු ලෝක යුද සමය දක්වා දිවයයි. සංඥා බලකායේ ආරම්භයේ සිටම යුද්ධ හමුදාවේ සන්නිවේදන ක්ෂේත්‍රය ඔස්සේ ජාතියේ යහපත උදෙසා මානුෂීය මෙහෙයුම් වලදී දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය. ‘ස්ථීර සහ ක්‍ෂණික’ යන ආදර්ශ පාඨය පෙරදැරි කරගත් ශ්‍රී ලංකා සංඥා බලකාය සන්නිවේදන ක්ෂත්‍රයේ මෙන්ම තාක්‍ෂණික නවෝත්පාදන ඔස්සේ ජාතියට ඉමහත් සේවයක් ඉටු කරනු ලබයි.

තොරතුරු තාක්‍ෂණය හා දත්ත ගබඩා ජාලකරණ ක්ෂත්‍රයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ලබන ශ්‍රී ලංකා සංඥා බලකාය, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත කොවිඩ් -19 ජාතික එන්නත්කරණ වැඩසටහනට සිය සහයෝගය ලබාදෙමින් ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

වර්තමානයේ සංඥා බලකාය නවීන සන්නිවේදන තාක්‍ෂණය භාවිතා කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරනු ලබයි.