19th October 2021 16:00:18 Hours
වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 46 වන සේනාවිධායක, ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක සහ ගැමුණු හේවා රෙජිමේන්තුවේ 19 වන රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් සේන වඩුගේ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2021 ඔක්තෝබර් මස 05 දින ගැමුණු හේවා බලකා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් සේන වඩුගේ ගැමුණු හේවා බලඇණියේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.එම්.ආර්.එන්.කේ. ජයමාන්න විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරන ලදී. ඉන් අනතුරුව, සරඹ භූමියේදී එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මේජර් ජෙනරල් සේන වඩුගේ වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.
ඉන් අනතුරුව නික්මයන රෙජිමේන්තු අධිපතිතුමන් ගැමුණු හේවා බලකායේ රණවිරු ස්මාරකය අභියසදී දේශය වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර පුද කළේය.
ඉන් අනතුරුව ගැමුණු හේවා රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ගැමුණු හේවා බලඇණියේ අභිවෘද්ධිය උදෙසා මේජර් ජෙනරල් සේනා වඩුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරී සිදු කළ අපිරිමිත සේවා හා කැපකිරීම අගය කරමින් ඒ වෙනුවෙන් ස්තූතිය පුද කරමින් එතුමන්ගේ විශ්‍රාම දිවියට සුභ පැතුම් එක් කළේය.
වර්ෂ 1966 ඔක්තෝබර් මස 06 දින මෙලොව එළිය දුටු මේජර් ජෙනරල් සේන වඩුගේ හම්බන්තොට තිසමහාරාම මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 1986 ජුනි මස 02 දින ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලා අංක 4 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී වර්ෂ 1988 අධිකාරියට පත්වූ එතුමන් පසුව ගැමුණු හේවා බලකාය වෙත අනුයුක්ත කරන ලදී.
මේජර් ජෙනරල් සේන වඩුගේ සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ දේශීය හා විදේශීය පාඨමාලා ගණනාවක් හඳාරා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. එතුමන් හැදැරු පාඨමාලා අතර තරුණ නිලධාරි පාඨමාලාව - පකිස්ථානය, කණිෂ්ඨ අණ දෙන නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, ඒකක පරිපාලක පාඨමාලාව, අණ හා මාණ්ඩලික පාඨමාලාව - යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලය, ශ්‍රී ලංකාව, පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, උසස් ආරක්‍ෂක සහයෝගීතා වැඩසටහන - හවායි, හමුදා විද්‍යා උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව - චීනය, මානව සම්පත් කළමනාකරණ උපාධිය - කොළඹ විශ්ව විද්‍යාලය සහ රාජ්‍ය තාන්ත්‍රික හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සාමාන්‍ය පාඨමාලාව.
මේජර් ජෙනරල් සේන වඩුගේ සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ මාණ්ඩලික සහ උපදේශක තනතුරු රැසක් හොඹවා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. එම තනතුරු අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විධායක අධිකාරි, දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, 7 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි, 513, 684, 232 සහ 234 වන බලසේනාවල බලසේනාධිපති, අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් කාර්යාලයේ සහකාර හමුදා ලේකම්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 52 වන සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, ගැමුණු හේවා බලඇණියේ 19 වන රෙජිමේන්තු අධිපති, අඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක සහ යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 46 වන සේනාවිධායක යන තනතුරු වේ.
මේජර් ජෙනරල් සේන වඩුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි දේශයට සාමය උදාකරලීම වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානයට එරෙහිව දියත් කළ මෙහෙයුම්වලට සක්‍රීයව සිය දායකත්වය ලබාදීම වෙනුවෙන් පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත. ඒ අතර, රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම ද වේ.