Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2021 17:00:18 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ තවත් ආධුනික සෙබළුන් 166 දෙනෙකු විසිරයති

ගිරිතලේ පිහිටි යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ පැවති විනායාරක්‍ෂක පාඨමාලාව අංක - 79 සමාප්ති උත්සවය පසුගිය සඳුදා (11) දින පැවැත්විණි. එහිදී, ආධුනික පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආධුනික සෙබළුන් 166 දෙනෙකු විසිර ගියහ.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් සීවලී රාජනායක ගේ ආරාධනාවකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් සහභාගී වූවේය.

පාඨමාලාවේ දක්‍ෂතම ඛණ්ඩභාර සැරයන් ලෙස සැරයන් ජේ.ටී.ඊ ජයසේන, දක්‍ෂතම පෙළ අණදෙන්නා වශයෙන් කෝප්‍රල් එස්.එම්.ඩී.එස්. සේනානායක, දක්‍ෂතම ආධුනික සෙබලා ලෙස ආධුනික සෙබල ඒ.එස්.පී විජේසේකර සහ දක්‍ෂතම වෙඩික්කරු ලෙස ආධුනික සෙබල එස්.බී.පී.එස්. බණ්ඩාර ප්‍රධාන ආරාධිත අමුත්තා වෙතින් සම්මාන ලබාගත්හ.

මෙම අවස්ථාවට විනයාරක්‍ෂාධිපති බ්‍රිගේඩියර් ලක්‍ෂ්මන් බමුණුසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රමේෂ් සැලේ සහ එම රෙජිමේන්තුවේ තවත් නිලධාරින් පිරිසක් සහභාගී වූහ.