Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2021 19:35:36 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් කනගරායන්කුලම් ප්‍රදේශයේ කාන්තාවකට නව නිවසක්

ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකීකයෙකුගේ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් කනගරායන්කුලම්, විඥ්ඥාණකුලම් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක කාන්තාවක් වෙනුවෙන් නව නිවසක් ඉදිකෙරිණි.

ඒ අනුව, ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.

නිවසක් නොමැතිව පීඩාවට පත්ව සිටි සංජිවනි කුමුදුනි මහත්මිය පිළිබඳ 561 වන බලසේනාවේ භටපිරිස් වෙත තොරතුරු ලැබීමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචි සුජීවා දිසානායක මහත්මියගේ මූල්‍යමය අනුග්‍රහය ඇතිව මෙම නිවස ඉදිකරන ලදී. ඒ අනුව, ඉදිකළ නව නිවස විවෘත කිරීමේ උත්සවය 72 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව පැවැත්විණි.

මේජර් ජෙනරල් ඒ.ඒ.ඩි.එන්.එස්. දුනුවිල (විශ්‍රාමික) සහ අජිත් පී. රඹුක්කන මහතාගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නැංවු මෙම ව්‍යාපෘතිය 56 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 561 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධික්‍ෂණය යටතේ සිදු කෙරිණි.

නව නිවස විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා සහභාගි වු අතර එම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස මේජර් ජෙනරල් ඒ.ඒ.ඩි.එන්.එස්. දුනුවිල (විශ්‍රාමික) සහභාගි වුහ.

හින්දු ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් පැවැති නව නිවස විවෘත කිරීමේ අවස්ථාවේදී අජිත් පී. රඹුක්කන මහතා විසින් නිවාසලාභියා වෙත නව නිවසේ යතුර භාරදුන්නේය.

මෙම අවස්ථාවට 563 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.පී.ඒ. පෙරේරා, 561 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජි.ජි.පී. කුලතිලක, 56 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව්.කේ.ඒ.ඒ. ප්‍රියන්තලාල් සහ 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එස්.එම්.එස්. සූරිබණ්ඩාර සහභාගි වුහ.