18th October 2021 16:28:08 Hours
යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකය, අනුග්‍රාහක භවතෙකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව මුලතිව්, කෝකිලායි සහ කර්නාටකර්නි ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභි පවුල් දෙකක් වෙත නව නිවාස දෙකක් ඉදිකරදෙන ලදී.
මෙම නව නිවාස දෙකෙහි ඉදිකිරීම් කටයුතු ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 593 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 19 වන ගැමුණු හේවා බලකායේ සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරනු ලැබූහ. යුද්ධ හමුදා සංවත්සර දිනය සනිටුහන් කරමින් මෙම නව නිවාස දෙක පසුගිය බදාදා (13) දින නිවාසලාභින් වෙත පවරාදුන්හ.
මෙම ව්‍යාපෘතියේ ඇති වැදගත්කම සලකා බලා මහනුවර සිල්වෙස්තර විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ අසංග වරකාගොඩ මහතා විසින් නව නිවාස දෙක ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය සපයනු ලැබීය.
නිවාසලාභී ෂර්මිලා ප්‍රනාන්දු මහත්මිය වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසේ ඉදිකිරිම් කටයුතු කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තිස්සපුර ශ්‍රී ඥාණරත්න හිමිපාණන්ගේ මාර්ගෝපදේශවලට අනුකූලව 19 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් සිදුකළහ. එමෙන්ම, කර්නාටකර්නි ප්‍රදේශයේ පදිංචි වෛරසුන්දරම් කවිස්කාන්ති මහත්මියගේ පවුල වෙනුවෙන් නව නිවසක් ඉදිකිරිම සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය මෙන්ම තාක්‍ෂණික හා ඉංජිනේරු දැනුම 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලබාදුන්හ.
එමෙන්ම, පූජ්‍ය උඩුකුඹුර කාශ්‍යප හිමිපාණන්, ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් වසන්ත පාලම්කුඹුර සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව නිවාසලාභි පවුල් දෙක වෙනුවෙන් අවශ්‍ය ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ කට්ටලය බැගින් පරිත්‍යාග කරන ලදී.
නව නිවාස විවෘත කිරීමේ උත්සව අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සහභාගී වූ අතර එතුමන් විසින් නිවාසලාභි පවුල් වෙත නිල වශයෙන් එම නිවාස පවරා දුන්හ.
එම අවස්ථාවේදීම, පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය මත එම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත තවත් පවුල් 10 ක් වෙත වියළි සලාක පාර්සල් බෙදාදුන් අතර එම පවුල්වල සිටින පාසල් සිසුන් වෙත පාසල් උපකරණ කට්ටල ද පරිත්‍යාග කරන ලදී.
මෙම නව නිවාස විවෘත කිරීමේ උත්සව අවස්ථාවන් සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් වසන්ත පාලම්කුඹුර, 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් විශ්වජිත් විද්‍යානන්ද ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම 19 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් යූ.ජී.එස්. සරත්චන්ද්‍ර සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්. අතාවුද සහභාගී වූහ.