18th October 2021 19:03:47 Hours
ශ්‍රී ලංකාවේ සුහද සංචාරයක නිරත ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි සිය සංචාරය නිම කර පිටව යෑමත් සමඟම ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ඉගෙනුම ලබන උපාධි අපේක්‍ෂකයින් කණ්ඩායමක් දින පහක සුහද සංචාරයක් සඳහා අද (18) දින උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියහ.
මේජර් ජෙනරල් හැරී බී. පිල්ලේ (Hari B Pillai) ගේ ප්‍රධානත්වයෙන් යුත් 18 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ.
යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි දූත පිරිස යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ සහ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැටුව යනු ලැබූහ.
මේජර් ජෙනරල් හැරී බී. පිල්ලේ (Hari B Pillai) ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය දූත පිරිස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සිය කාර්යාලය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූවේය. එහිදී, වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකා සහ ඉන්දීය ත්‍රිවිධ හමුදාවන් අතර අඛණ්ඩව පවතින ද්වීපාර්ශ්වික සහයෝගීතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.
මෙම සුහද හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉන්දීය දූත පිරිස වෙත සමරු තිළිණ ප්‍රදානය කළ අතර ඔවුන් ද එතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළහ.
ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු විසින් විද්‍යුත් මාධ්‍ය ඉදිරිපත් කිරිමක් තුලින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, යුද්ධ හමුදාවේ ඉතිහාසය සහ වර්තමාන කාර්යභාරයන් පිළිබඳ ඉන්දියානු දූත පිරිස දැනුවත් කළේය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූහ.
මෙම අවස්ථාවට මතකයන් එක් කිරීමේ අරමුණින් ඉන්දියානු දූත පිරිස ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සමූහ ඡායාරූපයකට එක්වූහ.
එක්සත් රාජධානිය, ඉරානය, බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ ජපානය යන රටවල් නියෝජනය කරමින් ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පුහුණුව ලබන මෙම ත්‍රිවිධ හමුදා නිලධාරින් 18 දෙනා සහ ඔවුන්ගේ භාර්යාවන් ඔක්තෝබර් මස 23 දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳීසිටිනු ඇත.
ඉන්දියානු දූත පිරිස බදාදා (20) දින යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වෙමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සමඟ සුහද හමුවක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව, පලාලී රණවිරු ස්මාරකය අභියසදී දිවංගත ඉන්දියානු සාම සාධක හමුදා රණවිරුවන් අනුස්මරණය කරනු ලබයි. ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ද සංචාරය කිරීමට නියමිතව ඇත.