Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2021 14:30:38 Hours

කිලිනොච්චි සහ මුලතිව් ගොවි ජනතාව වෙනුවෙන් යුද්ධ හමුදා සහයෝගය ලබාදෙන බවට යුද්ධ හමුදාධිපති සහතික වෙයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය ඉරිදා (17) දින කිලිනොච්චි සංචාරයක නිරත වූ අතර එහිදී, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල විවිධ ගොවි සංගම්වල නියෝජිතයින් කිහිපදෙනෙකු සිය කෘෂිකාර්මික ගැටළු සඳහා විසඳුම් බලාපොරොත්තුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම අවස්ථාව සඳහා සහභාගි වූ ගොවි සංගම්වල සභාපතිවරුන්, ලේකම්වරුන් ඇතුළු නියෝජිතයින් විසින් මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීම පිළිබඳ සිය ගැටළු ඉදිරිපත් කළහ. කාබනික පොහොර භාවිතා කරමින් කෘෂිකාර්මික කටයුතු කිරීමට තවමත් එම ප්‍රදේශයේ පස සුදුසු තත්ත්වයක නොපවතින බැවින් කාබනික පොහොර සමඟින් රසායනික පොහොර ද භාවිතා කිරීමට ඇති හැකියාව පිළිබඳව ඔවුන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගෙන් විමසනු ලැබූහ.

කාබනික පොහොර භාවිතය ශරීර සෞඛ්‍යයට වඩාත් හිතකර බව ඔවුන් විශ්වාස කරන බවත් සිය අවශ්‍යතාවය අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරන ලෙස එම නියෝජිතයින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ඉල්ලා සිටියහ. එමෙන්ම, රජයේ ඉඩම් තුළ සිය කෘෂිකාර්මික කටයුතු සිදුකිරීම සඳහා යුද්ධ හමුදාවෙන් ලබාදිය හැකි සහයෝගය පිළිබඳවත් එවැනි ඉඩම් තව කොපමණ ප්‍රමාණයක් ලබාදිය හැකිවේද යන්න සොයාබලන ලෙසත් ඔවුන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙතින් ඉල්ලා සිටියහ.

ඔවුන්ගේ ගැටළු සඳහා සවන්දුන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම සහ එම ක්‍රමවේදයන් ප්‍රචලිත කිරීමට ගෙන යන පියවර පිළිබඳ ඔවුන් දැනුවත් කළේය. එමෙන්ම, ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා යුද්ධ හමුදා සහයෝගය ලබාදෙන බවත්, දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා බදු පදනම මත හෝ වෙනත් ගිවිසුම් මඟින් වගා කටයුතු සඳහා රජයේ ඉඩම් ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයාබලන බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගොවි සංගම්වල නියෝජිතයින් සමඟ අදහස් හුවමාරු කරගනිමින් ප්‍රකාශ කරන ලදී.

තවද, සෑම මසකම කිලිනොච්චියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ බලකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සමඟ ඍජුවම සම්බන්ධ වී සිය ගැටළු එම නිලධාරින් වෙත යොමුකරීමේ හැකියාව පවතින බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගොවි සංගම් නියෝජිතයින් වෙත ප්‍රකාශ කළේය. එම අවස්ථාවේදීම, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන්ගේ ගැටළු සහ ඒවාට බලපාන අනෙකුත් සාධක සටහන් කරගන්නා ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.