Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2021 12:52:07 Hours

ශ්‍රී පුර ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් නව නිවසක්

72 වන යුද්ධ හමුදා දින සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පදවි - ශ්‍රී පුර, ගැමුණුපුර පදිංචි ආර්.එම්. රණසිංහ මහතා වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය ඉරිදා (10) දින පැවති උත්සවයකදී නිවාසලාභියා වෙත පවරාදුන්හ.

මෙම නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය අනුග්‍රාහකත්වය 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර සහ 9 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලබාදුන්හ. එමෙන්ම, 9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් සේනක මුණසිංහ ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස්හී තාක්‍ෂණික දැනුම හා ශ්‍රම දායකත්වය මත මෙම නව නිවස ඉදිකරන ලදී.

නිවාස නොමැති පුද්ගලයින් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීම සඳහා රජය ගෙනයනු ලබන නිවාස ව්‍යාපෘතියට සහයෝගය දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සියළුම ආරක්‍ෂක සේනා මූලස්ථාන මඟින් නිවාස අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ප්‍රජා සුභසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය 622 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර අබේසිංහ ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී. නිවාසලාභියාගේ අවශ්‍යතාවය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අවධානයට යොමුවීමෙන් අනතුරුව 62 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 622 වන බලසේනාවේ බලසේනාධිපති සමඟ සාකච්ඡා කර 9 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී පුර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි සහ නිවාසලාභියාගේ ඥාතීන් සහභාගි වූහ.