Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2021 20:58:38 Hours

පෙර තිබූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි පරිශ්‍රයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකා මූලස්ථානය ස්ථාපිත වේ

ජාතියේ උන්නතිය උදෙසා ශ්‍රී ලාංකික ජාතිය අසීරු අවස්ථාවන්ට මුහුණපාන අවස්ථාවලදි සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිත කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ සමාරම්භය අද (17) දින පස්වරුවේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයේදී සනිටුහන් විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා පුහුණු අණසක මූලිකත්වයෙන් ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ සංකල්පයට සමගාමීව ආරම්භ කළ මෙම බලකායේ මූලස්ථානය ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි පිහිටි භූමි පරිශ්‍රයේ ස්ථාපිත කර ඇත.

මෙම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.

ඉන් අනතුරුව, සන්ද්‍යාවේ යෙදුනු සුභ මොහොතින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පොල්තෙල් පහන දල්වා එම මූලස්ථාන සංකීර්ණයට ප්‍රවිශ්ඨ වී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකා මූලස්ථානයේ කාර්යාල සංකීර්ණය විවෘත කරන ලදී. පසුව, එතුමන් එම මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය. පසුව, මෙම අවස්ථාවට ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ පැමිණීම පැසසුමට ලක්කරමින් මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ එතුමන් වෙත සමරු තිළිණයක් පිරිනැමුවේය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනුලැබූ සමූහ ඡායාරූපයක් සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්විය. මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. (වැඩි විස්තර සඳහා මුල් පුවත බලන්න)