Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2021 23:53:40 Hours

යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවති විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයට ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී එක්වෙයි

දෙරට අතර පවත්නා සුහදත්වය තවදුරටත් ශක්තිමත් කරමින් දින පහක සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) වෙනුවෙන් විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් ඉකුත් සිකුරාදා (15) දින සන්ද්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.

මෙම විශේෂ භෝජන සංග්‍රහය සඳහා සහභාගි වු ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි සහ එම මැතිණිය ඇතුළු නියෝජිත පිරිස, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

එම අවස්ථාවට වඩාත් ආකර්ෂණයක් හා විනෝදාස්වාදයක් එක් කරමින් ශ්‍රී ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ ඉහලටම පැමිණි ගායන ශිල්පිනියක් වන යොහානි ද සිල්වා මෙනවිය ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සව අවස්ථාවට එක්විය.

පසුගිය දින කිහිපය තුළ මෙම තරුණ ගායන ශිල්පිනියගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේදී වැඩසටහන් ගණනාවක් පැවැත්විණි. ගායන ශිල්පී යොහානි ද සිල්වා මෙනවිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වා ගේ දියණියයි.

මෙරට සංචාරයක නිරත වු ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහ වීනා නාරාවන මැතිණිය ඇතුළු නියෝජිත පිරිස වෙනුවෙන් සංවිධානය කළ මෙම විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහය අවසානයේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, නියෝජ්‍ය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ එම මැතිණියන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.