Header

Sri Lanka Army

Defender of the Nation

13th October 2021 18:10:50 Hours

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති සුහද හමුවෙන් අනතුරුව බදාදා (13) දින ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සමඟ සුහද හමුවක් පැවැත්විණි.

එහිදී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී විසින් ඉන්දීය නියෝජිත පිරිස උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් කාර්යාලය වෙත කැටුව යන ලදී. එහිදී, සුහද හමුව ආරම්භ කිරීමට ප්‍රථම ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් එම දූත පිරිස උණුසුම් අයුරින් පිළිගත්තේය. ඉන් අනතුරුව පැවති සුහද හමුවේදී, දෙරට අතර ක්‍රියාත්මක වන පුහුණු ක්‍රමවේදයන් තවදුරටත් ශක්තිමත් කිරීම සහ අනෙකුත් පොදු කරුණු සඳහා ද්වීපාර්ශ්වික සහයෝගීතාවයේ ඇති වැදගත්කම පිළිබඳ සාකච්ඡා කෙරිණි.

මෙම සුහද හමුවේ අවසානය සනිටුහන් කරමින් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුවිය. ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි එම පරිශ්‍රයෙන් පිටත්ව යාමට ප්‍රථම ආරක්‍ෂක අමාත්‍යාංශයේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහ ඉන්දීය යුද්ධ හමුදා භාර්යාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිනි වීනා නාරාවන (Mrs Veena Naravane) ඇතුළු සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් පස්දින නිල සංචාරයක් සඳහා පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම සංචාරයේදී, ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ද හමුවිමට බලාපොරොතු වේ.