13th October 2021 20:00:30 Hours
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් හමුවී සාකච්ඡාවක නිරත වූහ.
මෙම සුහද හමුවේදී අතිගරු ජනාධිපතිතුමා යුද්ධ හමුදා සේවා කාලය තුළ තමා ඉන්දියාවේදී ලද හමුදා පුහුණුවීම් සහ අත්දැකීම් පිළිබඳ මතකය ආවර්ජනය කරමින් ඉන්දීය හමුදා පුහුණුවීම් මගින් මෙරට හමුදා නිලධාරීන්ට ලැබෙන නායකත්ව හැකියාව පිළිබඳ සිය ප්‍රසාදය පළ කරනු ලැබීය.
එහිදි දේශ සීමා ගණනාවකින් වටව ඇති ඉන්දීය රාජ්‍යයේ ආරක්‍ෂාව තහවුරු කරගැනීම, කඳු ආශ්‍රිත දුෂ්කර ප්‍රදේශවලදී හමුදා සුභසාධන කටයුතු සහ ඉන්දීය හමුදා නිලධාරීන් නායකත්ව පුහුණුවීම් සඳහා යොමුකෙරෙන නිලයන් පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා, ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරායන වෙතින් තොරතුරු විමසීය.
ශ්‍රී ලංකා හමුදා නිලධාරීහු දහසකට ආසන්න පිරිසක් වාර්ෂිකව ඉන්දියාවේදී යුද පුහුණුව ලබති. එම පිරිසට අමතරව ඉදිරි කාලය තුළදී හමුදා නිලධාරීන් 50 දෙනෙකුට විශේෂයෙන් සකස් කළ පුහුණු පාඨමාලාවක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඉල්ලීම මත ලබාදීමට පියවර ගන්නා බව ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි පැවසීය.
ඉන්දීය සාම සාධක හමුදාව නියෝජනය කරමින් ත්‍රිකුණාමලය 4 කණුව ප්‍රදේශයේ සේවය කළ කාලසීමාවේදී ලද අත්දැකීම් පිළිබඳ මතකය මෙම සංචාරය තුළින් නැවතත් අලුත් කෙරුණු බව ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන සඳහන් කළේය. බලසේනාධිපතිවරයෙකු ලෙස පත්වීමෙන් පසු ඉන්දීය යුද්ධ හමුදා නිලධාරීන් නායකත්ව පුහුණුවීම් සඳහා යොමු කෙරෙන අතර ඒ ඒ නිලයන් විශ්‍රාම ගැන්වෙන වයස් සීමාවන් පිළිබඳ ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි කරුණු පැහැදිලි කරනු ලැබීය.
තමාට ද හිටපු හමුදා නිලධාරියෙකු ලෙස මෙවැනි අවස්ථාවක මතකයන් සිහිකරමින් කතාබහ කිරීමට ලැබීම ගැන සතුටු වන බව අතිගරු ජනාධිපතිතුමා පැවසීය.
මෙම සාකච්ඡාව සඳහා ඉන්දීය යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අණදෙන නිලධාරී මේජර් ජෙනරල් රජීව් තාපර් (Rajeev Thapar), යුද උපදේශක මේජර් ජෙනරල් වික්‍රාන්ත් විලාස් නයික් (Vikrant Vilas Naik), විදේශ කටයුතු අංශයේ නියෝජිත කර්නල් මන්දීප් සිංග් දිල්ලන් (Mandeep Singh Dhillon), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්ව සිටියහ.