Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2021 14:00:31 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් අවශ්‍යතා සහිත කාන්තාවකට නව නිවසක්

යුද්ධ හමුදා සංවත්සර දිනය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ නව නිවසක් වැලිකන්ද, මුතුවැල්ල ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියෙකු වෙත පසුගිය සිකුරාදා (08) දින භාරදෙන ලදී.

233 වන බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් ඉදිකරන ලද නව නිවස ආබාධිත කාන්තාවක් වන කේ.පී. දමයන්ති වෙත භාරදෙන ලදී. නිවස ප්‍රදානය කිරිමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය සහභාගී වූවේය.

සමාජ සේවා සංවිධානයක් වන ‘මිහිඳු නිවහන’ අරමුදල වෙතින් ලබාදුන් මූල්‍යමය දායකත්වය මත යුද්ධ හමුදා භටපිරිස්වල ශ්‍රම දායකත්වය ඇතිව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.

මෙම නව නිවස විවෘත කිරීමේ අවස්ථාව සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් සුජීව ජයසිංහ, 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් දිනේෂ් වනිගසේකර, යුද්ධ හමුදා භටපිරිස් සහ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ.

මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය දැක්වූ භටපිරිස්වල කැපවීම අගය කරමින් ඔවුන් වෙත ඇගයීම් සහතික පත්‍ර බෙදාදීම ද මෙම අවස්ථාවේදී සිදු කෙරිණි.