Header

Sri Lanka Army

Defender of the Nation

09th October 2021 21:15:59 Hours

මන්නාරම භටපිරිස් නීතිවිරෝධි කහ සමඟින් සැකකරුවන් අත්අඩංගුවට ගනී

54 වන සේනාංකය යටතේ ස්ථාපිත 543 වන බලසේනාවට අයත් 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සඳුදා (11) දින මන්නාරම පාලම අසල මාර්ග බාධකයේදි ලොරි රථයක් මඟින් ප්‍රවාහනය කරමින් තිබු නීතිවිරෝධි කහ කිලෝග්‍රෑම් 1150 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ.

යුද්ධ හමුදා භටපිරිස් විසින් සඳුදා (11) දින අළුයම 1.30 ට පමණ මෙම ලොරි රථය පරික්‍ෂා කිරීමෙන් අනතුරුව මෙම නිතිවිරෝධි කහ තොගය අත්අඩංගුවට ගනු ලැබූහ. අදාළ සැකකරුවන් දෙදෙනා විසින් එම කහ තොගය එරාවුර් දක්වා රැගෙන යමින් තිබූ බවට සැක පළකෙරේ. සැකකරුවන් සහ නීති විරෝධී කහ තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ අතර, 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංකයේ බුද්ධි අංශ සාමාජිකයින් සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (09) දින මන්නාරම, කොන්ඩච්චි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධි කහ කිලෝග්‍රෑම් 483 ක් අත්අඩංගුවට ගත්හ.

මෙම කහ තොගය සමඟ සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර අදාළ කහ තොගයේ වටිනාකම රුපියල් මිලියන 2 පමණ වේ. යුද්ධ හමුදා භටපිරිස් මෙම කහ තොගය සමඟ බෝට්ටු එන්ජිමක්, තෙල් අඩංගු ගැලුමක් සහ යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදී.

මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධි කටයුතු වැළැක්වීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව පසුගිය දින කිහිපය තුළ මන්නාරම සහ තවත් ප්‍රදේශවලින් මත්ද්‍රව්‍ය, කහ ඇතුලු තවත් නීතිවිරෝධී ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිණි.