Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2021 17:04:13 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ යුද්ධ හමුදා දින පණිවිඩයෙන් නූතන සොල්දාදුවා සමඟ ජාතික කාර්යයන් සඳහා යුද හමුදාවේ කැපවීම තහවුරු කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 72 වන යුද්ධ හමුදා සංවත්සර දින (ඔක්තෝබර් 10) පණිවිඩයක් නිකුත් කරමින් අනාගතයේදී ඕනෑම අභියෝගයකට මුහුණදීම සඳහා දැනුම, කුසලතා හා වෘත්තිමය හැකියාවන්ගෙන් සන්නද්ධ නවීන සොල්දාදුවෙකු ජාතියට පිරිනැමීම සඳහා කැපවීමෙන් සහ උනන්දුවෙන් කටයුතු කර යුද්ධ හමුදාව ශක්තිමත්ව ඉදිරියට යන බව පෙන්වා දෙයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිගේ පණිවිඩය පහතින් දැක්වේ:

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී හා යුද්ධ හමුදාධිපති විසින් නිකුත් කරනු ලබන සුභාශිංසන පණිවුඩය

වර්ෂ 1949 ක් වූ ඔක්තෝබර් මස 10 වන දින ආරම්භ වූ අභිමානවත් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව අද දින සිය ස්වර්ණමය 72 වන සංවත්සරය සමරනු ලැබේ. මෙම සුවිශේෂී සංවත්සර දිනය සමරන මොහොතේ වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරී කරමින් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරනුයේ මහත් අභිමානයෙනි.

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ විවිධ අවස්ථාවන්හිදී මාතෘ භූමියේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවයට එරෙහිව විවිධ කණ්ඩායම් නැගී සිටියද එම සෑම තර්ජනයකටම අභීතව මුහුණදෙමින් ඒවා ව්‍යාර්ථ කිරීමට ශ‍්‍රී ලාංකිකයින් සමත්වී තිබේ. ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව වසර 72 ක කාල පරිච්ජේදය තුළ විවිධ අවස්ථාවන්හිදී මාතෘ භූමියට දැඩි පීඩාවක් එල්ලකළ ම්ලේච්ඡ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය, මූලධර්මවාදී තර්ජනයන් හා රාජ්‍ය විරෝධී ක‍්‍රියාකාරකම් වලට එරෙහිව විශාලතම කැපකිරීම සිදුකළ සංවිධානය ලෙස ලක් ඉතිහාසයට එක්වී හමාරය. මාතෘ භූමියේ වාසය කරන ජනතාවගේ ආරක්‍ෂාව හා යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සටන්වදින අවස්ථාවන්හිදී යුද්ධ හමුදාවේ අභීත නිලධාරීන්, සෙසුනිලයින් හා සිවිල් සේවක කාර්ය මණ්ඩලයන්හි විශාල පිරිසක් තම වටිනා ජීවිතය මාතෘභූමිය වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ. එම වීරෝදාර ජාතික විරුවන් මෙම 72 වන සංවත්සර දිනයේදී භක්ත්‍යාදරයෙන් යුක්තව ප‍්‍රථමයෙන්ම සිහිපත් කරන අතර, ඔවුන්හට අජරාමර නිවන් සුව ලැබේවායි ප‍්‍රාර්ථනා කරමි. එසේම, රටේ ආරක්‍ෂාව වෙනුවෙන් සටන්වැදීමේදී රණක්‍ෂිතයට පත් නිලධාරීන්, සෙසුනිලයින් හා පූර්ණ ආබාධිත වූ සිවිල් සේවක මහත්මයින්ද ගෞරවයෙන් සිහිපත් කරන අතර, ඔවුන් අතරින් මේ දක්වාම ප‍්‍රතිකාර ලබමින් සිටින අයවලූන්ට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරමි. ඒ වගේම, ගෙවීගිය වසර 72 ක කාලසීමාව තුළදී යුද්ධ හමුදාව වර්තමානයේ පවතින තත්වයට රැගෙන ඒම සඳහා මින් පෙර යුද්ධ හමුදාවට නායකත්වය ලබාදුන් හමුදාධිපතිවරුන්, සියලූ නිලධාරීන් හා සෙසුනිලයින් විසින් ලබාදුන් විශිෂ්ඨ දායකත්වයද මම සිහිපත් කිරීමට කැමැත්තෙමි.

වසර 30 කට අධික කාලයක් මාතෘ භූමිය පීඩාවට පත්කළ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය, 2009 වර්ෂයේදී මානුෂීය මෙහෙයුම මගින් අවසන් කිරීම සඳහා නොසැලෙන අභීත නායකත්වයක් දුන් එවකට සිටි ආරක්‍ෂක ලේකම්, වත්මන් ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ද එවකට ශ‍්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපති, වත්මන් අග‍්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ද එවකට මානුෂීය මෙහෙයුමේ සේනාංකාධිපතිිවරයෙකු වූ වත්මන් ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමන්ද ගෞරව බහුමානයෙන් යුතුව මෙම සුවිශේෂී දිනයේදී සිහිපත් කරමි.

තවද, රටක ජාතික ආරක්‍ෂාව වන්නේ රටට එරෙහිව පැමිණෙන ආරක්‍ෂක අභියෝග හා තර්ජනයන් පමණක් නොවන බව අප හොඳින් වටහා ගතයුතුය. යුද්ධ හමුදාව සතු නිලධාරීන් හා සෙසුනිලයින් පුහුණුකිරීමේ මධ්‍යස්ථානයන් යාවත්කාලීන කර වර්තමානයට උචිතවන ආකාරයේ පුහුණුවීම් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු බොහොමයක් පසුගිය වසර තූළ නිම කිරීමට හැකියාව ලැබුණි. ජාතික ආපදාකාරී අවස්ථාවන්හිදී මහජන සහායට පැමිණීම රටක හමුදාවන් සතු ප‍්‍රධානතම වගකීමක් වේ. ජාතික ආපදාවකදී රටේ සාමාන්‍ය ජනතාව ඉන් මුදවාගැනීම සදහා සූදානමින් සිටින ප‍්‍රධානතම ආයතනය වශයෙන් ලක් ඉතිහාසයේ ඇතිවූ සෑම ආපදා අවස්ථාවකදීම යුද්ධ හමුදා සාමාජිකයින් මහජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් තම වගකීම ඉතාමත් උසස් ආකාරයෙන් ඉටුකර තිබේ. වර්තමානයේ මුළු රටම පීඩාවිදින ජාතික ආපදාව වන කොවිඩ් - 19 වසංගතය පාලනය කිරීමේ විශාල වගකීමක් හා කාර්යභාරයක් අතිගරු ජනාධිපති තුමා විසින් යුද්ධ හමුදාව වෙත පැවරූ අතර, එම වගකීමද ඉතාමත් උසස් ආකාරයෙන් ඉටුකිරීමට අප සමත්ව තිබෙන බව අභිමානයෙන් යුතුව සඳහන් කරමි. රටතුළ රෝග ව්‍යාප්තිය පාලනය, ආශ‍්‍රිතයින් හඳුනාගැනීම, පැය 24 පුරා එන්නත්කරණය හදුන්වාදී ක්‍රියාත්මක කළ ප‍්‍රථම හා එකම ආයතනය යුද්ධ හමුදාව වීම, ජංගම එන්නත්කරණ සේවාව හඳුන්වාදී ක‍්‍රියාත්මක කිරීම, නිරෝධායන ක‍්‍රියාවලිය, අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයීම වැනි කාර්යයන් වඩාත් සාර්ථක කරගැනීමට හැකිවීම පිළිබඳව අප සතුටු විය යුතුය. එසේම, රෝගීන් ප‍්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝහල් පද්ධතිය තුළ ඇඳන් ප‍්‍රමාණවත් නොවීම මත ඇතිවූ අපහසුතාවය කළමනාකරණය කරමින් දින 03 ක කාලයකදී ඇඳන් 25,000 ක් නිර්මාණය කර අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ක‍්‍රමවේදය ප‍්‍රථමවරට රටට හදුන්වාදෙමින් රෝගය පාලනය කිරීම සදහා විශාල දායකත්වයක් ලබාදීමට යුද්ධ හමුදාවට හැකියාව ලැබීම රටේ සෞඛ්‍ය සේවාවට මහත් සහනයක් විය.

සෞඛ්‍ය අභියෝගයන් පැවතියද යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය හා ප‍්‍රගමනයට අදාළ ව්‍යුහාත්මක හා තාක්‍ෂණික වෙනස්කම් රාශියක්ද මානව ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල කාර්යභාරයක්ද පසුගිය කාලසීමාවේ ඉටුකිරීමට හැකියාව ලැබුණු බව සිහිපත් කරමි. විශේෂයෙන්ම, 2020 - 2025 යුද්ධ හමුදා මූලෝපායික සැලැස්ම එළිදක්වමින් ඉදිරි වසර පහ තුළ යුද්ධ හමුදාවේ ප‍්‍රගමනය වෙනුවෙන් සිදු කළයුතු කාර්යභාරය, ඉතාමත් සැලසුම්සහගත ආකාරයෙන් සිදුකිරීම සඳහා මුලපිරීමට හැකිවුණු බවද සතුටින් සඳහන් කරමි. රටතුළ පවතින වත්මන් අවශ්‍යතාවයන් හා යාවත්කාලීන වූ සමාජ තත්වයන්ට අනුගත වෙමින් ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීම, කෘෂිකාර්මික හා පශු සම්පත් බලකාය ආරම්භ කිරීම, ඉංජිනේරු සේනාංකය ආරම්භ කිරීම, අතිරේක ප‍්‍රහාරක බලකාය ආරම්භ කිරීම හා 58 වන සේනාංකය යටතේ ආපදා කළමනාකරණය සදහාම වෙන්වූ බලසේනාවක් ආරම්භ කිරීම වැනි ආයතනික ව්‍යුහයේ වෙනස්කම් අළුතින් හඳුන්වාදීමට හැකියාව ලැබීම අප ලැබූ ජයග‍්‍රහණයකි.

විදෙස් සාමසාධක මෙහෙයුම් සඳහා අවශ්‍ය යුනි බෆල් රථ ප‍්‍රථමවරට මෙරටදීම යුද්ධ හමුදාව විසින් නිපදවා මාලි රාජ්‍යයෙහි සාමසාධක මෙහෙයුම් සදහා එක්කිරීම මගින් රටට විශාල විදේශ විනිමයක් ඉතිරිකිරීමට යුද්ධ හමුදාවට හැකියාව ලැබුණි. එසේම, ධාවනයෙන් ඉවත්කර වෙන්දේසි කිරීමට නියමිතව තිබූ මිල අධික ලෑන්ඩ් රෝවර්, පෙජරෝ, ලෑන්ඩ් කෲසර් හා මොන්ටේරෝ වැනි ජීප් රථ එම වෙන්දේසි ක‍්‍රමවේදයෙන් ඉවත්කර සම්පූර්ණ අළුත්වැඩියාවෙන් පසු නැවත ධාවනයේ යොදවා යුද්ධ හමුදා වාහන සංචිතය ශක්තිමත් කිරීමටත් පසුගිය වසරේදී කටයුතු කරන ලදී. මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත‍්‍ර මුද්‍රණය කිරීමේ ක‍්‍රියාවලිය සහ පරිඝණක දත්ත පද්ධතිය නඩත්තුකිරීම වැනි සේවාවන් යුද්ධ හමුදා රණවිරුවන් විසින් සිදුකිරීම මගින්ද අති විශාල ධනයක් ජාතික ආර්ථිකයට ඉතිරිකිරීමට පසුගිය කාල පරිච්ජේදයේදී යුද්ධ හමුදාවට හැකියාව ලැබුණි. එසේම, අතිගරු ජනාධිපතිතුමා විසින් සෘජුවම යුද්ධ හමුදාව වෙත පැවරූ ජාතිය ගොඩනැංවීමේ කාර්යයන් වන පාසල් ක‍්‍රීඩාංගණ, ක‍්‍රීඩාගාර, පාසල් ගොඩනැගිලි ඉදිකිරීම හා අලූත්වැඩියාව, මංමාවත් ඉදිකිරීම, මහජන සේවා සපයන ස්ථාන සැකසීම, වැව් පිළිසකර කිරීම, පාලම් ඉදිකිරීම වැනි කාර්යයන් යුද්ධ හමුදාව මගින් ඉටුකරනු ලබන්නේ ජාතික අවශ්‍යතාවයන්ට හා ජාතික ආර්ථිකයට රණවිරුවන් මගින් තවත් සුවිශේෂී දායකත්වයක් එක්කරමින් බව සතුටින් සිහිපත් කරමි. නවතමයෙන් ආරම්භ කළ කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ රණවිරුවන් විවිධ කෘෂිකාර්මික ව්‍යාපෘති හරහා ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වමින් සිටීම සියලූදෙනාගේ පැසසුමට ලක්වී ඇති බවද සිහිපත් කරමි.

ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශයන්හි පිහිටි වනාන්තර ආශ‍්‍රිතව සිදුකරන සීමිත ක‍්‍රියාන්විත මගින් වන විනාශයන් වළක්වා ස්වභාවික පරිසරය මතු පරපුරට ආරක්‍ෂාකිරීම සඳහා අපගේ රණවිරුවන් කැපවී සිටින අතර, වන ඝනත්වය අඩු වෙමින් පවතින මෙම කාල පරිච්ජේදයේදී “තුරු මිතුරු නව රටක්” ව්‍යාපෘතිය ආරම්භ කර රටපුරා සෑම ප‍්‍රදේශයක්ම ආවරණය වන පරිදි වන වගා ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් රණවිරුවන් වන ගහනය ඉහළ නැංවීමට සිදුකරන කාර්යභාරයද මම විශේෂයෙන් අගය කරමි. එසේම, ඇවිදින මංතීරු සකස්කර රටේ සාමාන්‍ය ජනතාවගේ පුද්ගලික සෞඛ්‍යාරක්‍ෂාව සදහා ඔවුන්ට ව්‍යායාම කිරීමේ පහසුකම් සැපයීමටද වීරෝදාර රණවිරුවන් සුවිශේෂී දායකත්වයක් ලබාදෙමින් සිටින බවද සිහිපත් කරමි.

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව රටේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේද මුල්තැන ගනිමින් ජපානයේ ටෝකියෝ නුවරදී පසුගිය දින පැවති 2020 පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලක් ඉතිහාසයේ ප‍්‍රථමවතාවට ඔලිම්පික් තරගාවලියකදී ලෝක වාර්තාවක් බිහිකර හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීම හා එම ඉසව්වකම ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වීම යුද්ධ හමුදාවට පමණක් නොව මුළුමහත් ජාතියටම අභිමානයක් ගෙන ආ බව සඳහන් කළ යුතුය. තවද, පසුගිය දකුණු ආසියාතික ක‍්‍රීඩා තරඟාවලියේදී යුද්ධ හමුදාවේ රණවිරුවන් රන් පදක්කම් 19 ක් රිදී පදක්කම් 29 ක් හා ලෝකඩ පදක්කම් 37 ක් දිනාගනිමින් ශ‍්‍රී ලංකාව දිනාගත් සම්පූර්ණ පදක්කම් ප‍්‍රමාණයෙන් වැඩි ප‍්‍රතිශතයක් දිනාගැනීමට සමත්වීමෙන් යුද්ධ හමුදාව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය දිග්විජය කර ඇති ආකාරය තහවුරු කරයි. පසුගිය දිනයන්හි ඉතාලියේ පැවති World Team Cup ආබාධිත රෝදපුටු ටෙනිස් තරගාවලියේදී 6 වන ස්ථානයට පැමිණීමට යුද්ධ හමුදාව නියෝජනය කළ රණක්‍ෂිතයට පත් ටෙනිස් ක්‍රීඩකයින් තිදෙනා සමත්වීමද යුද්ධ හමුදා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට තවත් අභිමානය ගෙනදුන් අවස්ථාවකි. එම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ආදර්ශයට ගනිමින් යුද්ධ හමුදාවේ අනෙකුත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ද ඔබට ලබාදී ඇති ක‍්‍රීඩාංගණ පහසුකම්, ක‍්‍රීඩාගාර, ජාතික හා ජාත්‍යන්තර පුහුණු අවස්ථා උපරිමයෙන් භාවිතා කරමින් මාතෘ භූමියට හා යුද්ධ හමුදාවට අභිමානය ගෙනඒම සඳහා ඉදිරියේදී ක‍්‍රියාකරනු ඇතැයිද මම විශ්වාස කරමි.

විවිධ ක්ෂේත‍්‍රයන්හි කැපී පෙනෙන දක්‍ෂතාවයන් දක්වන යුද්ධ හමුදා රණවිරුවන්ගෙන් සමන්විත යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම පසුගිය දින රුසියාවේ මොස්කව් නුවරදී පැවති Army Games 2021 තරගාවලියේදී සුවිශේෂී දක්‍ෂතාවයන් දැක්වීමට සමත්විය. එහිදී රටවල් 14 ක යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම් අතර පැවති ගායන, වාදන හා නර්තන අංශයේ තරගයන්හිදී සමස්ත හොදම දක්‍ෂතාවය දැක්වූ කණ්ඩායමට හිමිවන Grand Prix Award ඇතුළු ජයග‍්‍රහණ රාශියක් හිමිකරගැනීමට සමත්වීය.

අති විශාල ජාතික කාර්යභාරයක නියැලී සිටින රණවිරු ඔබ වෙනුවෙන් ලැබිය යුතු සියලූම සේවාවන් නොපිරිහෙලා ඉටුකිරීමට යුද්ධ හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබන බව සිහිපත් කරමි. රටතුළ අභියෝගකාරී තත්වයක් පැවතියද රෙජිමේන්තු මධ්‍යස්ථාන, පුහුණු පාසල් හා බළඇණි වෙත අවශ්‍ය යටිතල පහසුකම්, යුද්ධ හමුදා පස් අවුරුදු සැලැස්ම අනුව සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග රැගෙන තිබෙන බවද සිහිපත් කිරීමට කැමැත්තෙමි. එසේම, යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම පවුල්වල සාමාජිකයින්ටත් විශ‍්‍රාමිකයින්ටත් අත්‍යාවශ්‍යව පවතින යුද්ධ හමුදා වෛද්‍ය පහසුකම් තවත් ඉහළ නංවමින් නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ සිදුකරන ඉදිකිරීම් හා නව මහනුවර යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු වේගවත් කර ඇති බවද සඳහන් කළ යුතුයි. ඒ අතරින්, විශේෂයෙන් මධ්‍යම පළාත සහ ඒ අවට ප‍්‍රදේශයන්හි රාජකාරී කරන රණවිරුවන් 40,000 කට ආසන්න පිරිසකට හා එම රණවිරු පවුල්වල සාමාජිකයින්ද විශ‍්‍රාමික රණවිරුවන් විශාල පිරිසකටද පහසුකම් සැලසීමේ අපේක්‍ෂාවෙන් ඉදිවන මහනුවර යුද්ධ හමුදා රෝහල මෙම වසර අගභාගයේදී ඔබගේ භාවිතයට එක්කිරීමට හැකිවනු ඇතැයිද විශ්වාස කරමි.

සෑම යුද්ධ හමුදා සාමාජිකයෙකුටම පුද්ගලිකව නිවසක් හිමිකරදීමේ අපේක්‍ෂාවෙන් යුතුව මාගේ මාර්ගෝපදේශයන් මත යුද්ධ හමුදාව මගින් ක‍්‍රියාත්මක කර ඇති නිවාස ව්‍යාපෘතිය හරහා මේ වනවිට විශාල පිරිසකට නව නිවාස ඉදිකරදීමට හැකිවී තිබෙන බවද සතුටින් සදහන් කරමි. එසේම, යුද්ධ හමුදා සාමාජිකයින්ට පුද්ගලිකව තම නිවස ඉදිකරගැනීම සදහා ශක්තියක් වෙමින් යුද්ධ හමුදාවේ අනුග‍්‍රහයෙන් රාජ්‍ය බැංකු හරහා ඉතාමත් පහසු ක‍්‍රමවේදයක් හා වැඩි ප‍්‍රතිලාභ සහිත මූල්‍ය පහසුකමක් ඉදිරියේදී ලබාදීම සදහා අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස්කරමින් පවතින බවද සදහන් කිරීමට කැමැත්තෙමි.

මා යුද්ධ හමුදාධිපති තනතුරට පත්වී ගතවූ කාලසීමාවේදී එකවර විශාල හමුදා සාමාජිකයින් පිරිසකට අවස්ථා කිහිපයකදීම නිල උසස්වීම් ලබාදීමට හැකියාව ලැබුණි. මෙම 72 වන සංවත්සර දිනයට සමගාමීව තවත් නිලධාරීන් 545 ක් හා සෙසුනිලයින් 10,368 කට නිල උසස්වීම් ලබාදීමට හැකිවීම පිළිබදව මා ඉතාමත් සතුටුවෙමි. ඒ අනුව, යුද්ධ හමුදා ඉතිහාසයේ ප‍්‍රථමවරට ඉතාමත් කෙටි කාලයක් තුළ නිලධාරීන් 3,851 ක් හා සෙසුනිලයින් 78,707 කට උසස්වීම් ලබාදීමට හැකිවී තිබෙන බවද සතුටින් සිහිපත් කරමි. එසේම, ස්වේච්ජා බලසේනාවේ නිලධාරීන්ගේ නිල උසස්වීම්වල ඇතිව තිබූ ප‍්‍රමාදය වළක්වාගැනීම සඳහා ඉතිහාසයේ ප‍්‍රථමවරට නව බ්‍රිගේඩියර් තනතුරු 07 ක් කර්නල් තනතුර 17 ක් හා ලූතිනන් කර්නල් තනතුරු 48 ක් ඇති කිරීම සඳහා ක‍්‍රියාකිරීමට හැකිවීම යුද්ධ හමුදාව ලැබූ තවත් ජයග‍්‍රහණයකි.

අප සමග එක්ව සටන්වැද මාතෘ භූමිය වෙනුවෙන් තම ජීවිත පූජාකළ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් රැකබලාගැනීම හා රණක්‍ෂිතයට පත් රණවිරුවන් ආරක්‍ෂිතව රැකබලාගැනීම අපට පැවරී තිබෙන විශේෂ කාර්යභාරයක් බවද සිහිපත් කරමි. ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක වැඩපිළිවෙලට ඔබගේ දායකත්වය උපරිමයෙන් ලබාදෙනු ඇතැයිද මම බලාපොරොත්තු වෙමි. යුද්ධ හමුදා රණවිරුවන්ගේත් රණවිරු පවුල්වලත් සුභසාධනය වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ඇතුළු සමස්ථ සේවා වනිතාවන් විසින්ද ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් සිටින අතර, එම සේවාව ඇගයීමටද මම මෙය අවස්ථාවක් කරගනිමි.

මාතෘ භූමියේ ආරක්‍ෂාව, සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීම හා සංවර්ධනය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරන වත්මන් යුද්ධ හමුදා සාමාජිකත්වයටත් ඔවුන්ගේ පවුල්වල ආදරණීය සාමාජිකයින්ටත් මෙම 72 වන සංවත්සර දිනයේදී මාගේ සුබපැතුම් පිරිනමන අතර, ඔවුන්හට නීරෝගීමත් හා යහපත් අනාගතයක් උදාවේවායි ප‍්‍රාර්ථනා කරමි. එසේම, රට නියෝජනය කරමින් මාලි රාජ්‍යය, දකුණු සූඩානය, ලෙබනනය වැනි විදෙස් රාජ්‍යයන්හි සාමසාධක රාජකාරීන්හි නියැලෙමින් සුවිශේෂී කාර්යභාරයක යෙදෙන රණවිරුවන්ට මාගේ ප‍්‍රණාමය පුදකරන අතර, ඔවුන් සිදුකරන කාර්යභාරය එම සාමසාධක මෙහෙයුම් සඳහා අණදෙන එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්ගේ සුවිශේෂී ඇගයීමට පාත‍්‍ර වී ඇති බවද සිහිපත් කරමි. එම විදෙස්ගත රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල අපේක්‍ෂාවන් සියල්ල ඉටුවේවායිද ප‍්‍රාර්ථනා කරමි. යුද්ධ හමුදාව වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටුකරමින් සිටින සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හා එම පවුල්වල සාමාජිකයින්ද ගෞරවාදරයෙන් සිහිපත් කරන අතර, ඔවුන්හට ද මාගේ සුභාශිංසනය පළකරමි.

පසුගිය කාල පරිච්ජේදයේදී යුද්ධ හමුදාවේ සියලූම සාමාජිකයින් එක් පවුලක සාමාජිකයින් මෙන් ඉතාමත් සමගියෙන් යුතුව රටේ සාමාන්‍ය ජනතාව සුරක්‍ෂිත කිරීම සඳහා කටයුතු කර තිබේ. පසුගිය වසරේ අප මුහුණදුන් අභියෝග ජයගැනීම සදහා ශක්තියක් වූයේ එම සමගිය බව මගේ විශ්වාසයයි. “සමගිය ශක්තිය” බවට පරිවර්තනය කරගත් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම “නොහැක්කක් නොමැත” යන ආදර්ශය රටතුළ තහවුරු කිරීමට සමත්විය. යුද්ධ හමුදාවේ මෙම ශක්තිමත් අඩිතාලම වර්තමානය වනවිට යුද්ධ හමුදාවට පමණක් සීමා නොකර සමස්ථ රටවැසියන් අතර සමාජගත කරමින් මුළු සමාජයම ශක්තිමත් කිරීමට සමත්වී තිබෙන බවද අභිමානයෙන් යුතුව සිහිපත් කරමි.  

ඕනෑම අභියෝගකාරී තත්වයකට මුහුණදීමට සූදානමින් ඉතා සාර්ථක පුහුණුවක් සහිතව රාජකාරී කරන සෙබළෙකු වන ඔබ, වර්තමානයේ ඉටුකරන අති විශිෂ්ඨ ජාතික සේවාව ඉදිරියේදීත් නොපැකිලව ඉටුකරනු ඇතැයි මා විශ්වාස කරමි. එසේම, ඔබ රාජකාරීන් ඉටුකිරීමේදීත් පෞද්ගලික ජීවිතයේ කටයුතු කිරීමේදීත් යුද්ධ හමුදාවේ අභිමානය සුරැකෙන අයුරින් විනයගරුකව කටයුතු කරනු ඇතැයිද බලාපොරොත්තු වෙමි.

අවසාන වශයෙන්, “රටේත්, එහි වාසය කරන ජනතාවගේත් ආරක්‍ෂකයින්” වශයෙන් මාතෘ භූමියේ ආරක්‍ෂාවට හා පැවැත්මට එරෙහිව පැමිණෙන තර්ජනයන්ට සාර්ථකව මුහුණදීම සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛර්යය සියලූ යුද්ධ හමුදා සාමාජිකයින්ට ලැබේවායි ප‍්‍රාර්ථනා කරමි.

ඔබ සැමට විජය ශ‍්‍රී ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට, ආරක්‍ෂාව හා රැකවරණය සැලසේවා !! (නිමාව)