Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2021 15:30:04 Hours

“ඔබ ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ කැපකිරීම්වලට අපගේ කෘතඥතාවය” යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර අභිමංසලේ රණවිරුවන් අමතමින් පවසයි

72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවති ආශිර්වාද පූජාවෙන් අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද බිමේ එඩිතරව ඉදිරියට යමින් ත්‍රස්තවාදීන්ගෙන් මවුබිම ආරක්‍ෂා කරගැනීම සඳහා නිර්භීතව අසමසම පරිත්‍යාගයන් සිදුකර රණක්‍ෂිතයට පත්ව සිටින රණවිරුවන් 30 දෙනෙකුගේ සුවදුක් විමසීම සඳහා අනුරාධපුර ‘අභිමංසල - 1’ හි සංචාරයක නිරත වූවේය. එම සංචාරය සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්වූහ.

මෙම සංචාරයේදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සුජීවා නෙල්සන් මැතිණිය සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන හා පුනරුත්ථාපනය වන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සමඟ එක්ව ඔවුන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ගේ යහපැවැත්ම, චිකිත්සක ප්‍රතිකාර කටයුතු හා එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව විමසා සිටියහ. එම අවස්ථාවේදී, යුද්ධ හමුදා සාමාජිකයෙකු වශයෙන් රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් නිර්භිතව පෙනී සිටි සෑම රණවිරුවෙකුගේම කාමර සහ වාට්ටු වෙත ගොස් ඔවුන් වෙත ත්‍යාග පාර්සල් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් සමඟ එක්ව දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය. පසුව, අභිමංසල - 1 සුවතා නිකේතනයේ සේනාවිධායක විසින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෙත සමරු තිළිණ ප්‍රදානය කළේය. අනතුරුව, එම පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබූ අතර එම මධ්‍යස්ථානයේ නේවාසික රණවිරුවන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක්වූහ.

අනුරාධපුරයේ නුවර වැව අසල අක්කර 5 ක දර්ශනීය පරිසරයක පිහිටි ‘අභිමංසල -1’ සුවතා නිකේතනයේ ‘නිර්භීත හදවත්’ (Brave Hearts) ව්‍යාපෘතිය යටතේ සුවය ලබන රණක්‍ෂිතයට පත් තරුණ රණවිරුවන් ප්‍රතිකාර ලබති. එම රණවිරුවන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාව මෙන්ම රටේ කෘතවේදී ජනතාව ඔවුන් අත්හැර නොමැති බව මෙන්ම ඔවුන් වෙත සියළුදෙනාගේ ගරුත්වය හිමිවන බව ද ප්‍රකාශ කරන ලදී. එවකට ජනාධිපතිව සිටි වත්මන් ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සහ එවකට ආරක්‍ෂක ලේකම්ව සිටි වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ අනුග්‍රහය සහ එවකට සිටි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහයෝගය ඇතිව රජයේ ඉඩමක් භාවිතා කරමින් මෙම ‘අභිමංසල’ සංකල්පය යථාර්තයක් බවට පත් කරන ලදී.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.