Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2021 19:07:12 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා රාජකාරි අරඹයි

නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරාල් සමන්ත සිල්වා දියතලාව යුද්ධ හමුදා කඳවුරේ පිහිටි සිය කාර්යාලයේ දී පසුගිය සඳුදා (4) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ධුරයට පත්වීමෙන් අනතුරුව හෙතෙම ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ධුරයේ රාජකාරි භාරගන්නා ලදී.

එම කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් සමන්ත සිල්වා වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ ආගමික වතාවත්වල නිරත වූහ. මෙම උත්සවය දැඩි සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශවලට අනුව පැවැත්විණි.

ඉන් අනතුරුව, නිලධාරින් සහ සෙසුනිලයින් ඇමතූ මේජර් ජෙනරල් සමන්ත සිල්වා රාජකාරි ස්භාවය පිළිබඳ ඔවුන් දැනුවත් කරමින් යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සහ කණ්ඩායමක් ලෙස රාජකාරි ඉටුකරමින් යුද්ධ හමුදාවේ ඵලදායිතාවය වැඩිදියුණු කිරීමට කටයුතු කිරිම පිළිබඳව ද එහිදී කරුණු පැහැදිලි කරන ලදී. මෙම උත්සවයේ වැඩකටයුතු සියලු නිල තේ පැන් සංග්‍රහයකින් සමාප්ත විය.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර මේජර් ජෙනරල් සමන්ත සිල්වා උපකරණ මාස්ටර් ජෙනරල් ධූරයේ රාජකාරි හෙබවූවේය.

මෙම උත්සව අවස්ථාව සඳහා 11 සහ 12 වන සේනාංකයේ සේනාංකාධිපතිවරුන්, 111, 112, 121 හා 122 වන බලසේනාවල බලසේනාධිපතිවරුන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් වල අණදෙන නිලධාරින් සහභාගී වූ අතර නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් සමන්ත සිල්වා වෙත සිය සුභපැතුම් ද පිරිනැමූහ.