Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2021 20:00:14 Hours

රුසියාවේ 'Exercise Zapad (West) 2021' පුහුණු අභ්‍යාසයේ නිරීක්‍ෂකයින් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගී වේ

රුසියානු හමුදාව සමඟ 2021 සැප්තැම්බර් මස 10 සිට 17 දින දක්වා කාලය තුළ රුසියාවේදී පැවැත්වූ රුසියානු සන්නද්ධ හමුදාවන්ගේ වාර්ෂික උපායමාර්ගික ‘Exercise Zapad (West) 2021’ යුද අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇතුළු රටවල් 17 ක හමුදා සාමාජිකයින් යුද අභ්‍යාසයට සහභාගීවන්නන් සහ නිරීක්‍ෂකයින් ලෙස සහභාගී වූහ.

යුද පිටියේදී ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීම සඳහා භටපිරිස් පුහුණු කරනු ලබන අභ්‍යාසයක් ලෙස පැවැත්වෙන මෙම යුද පුහුණු අභ්‍යාසය රුසියානු හමුදාවේ භටපිරිස් සමඟ එක්ව පවත්වනු ලබන යුද අභ්‍යාසයක් වන අතර ඒ සඳහා සහභාගී වන රටවල් අතර හමුදා හා උපායමාර්ගික සබඳතා වැඩිදියුණු කිරීමද මෙමඟින් බලාපොරොත්තු වේ.

ඉන්දියාව, කසකස්තානය, තජිකිස්ථානය, කිර්ගිස්තානය, ආර්මේනියාව, මොංගෝලියාව, සර්බියාව සහ රුසියාව යන රටවල යුද්ධ හමුදා සාමාජිකයින් මෙම අභ්‍යාසය සඳහා සහභාගී වූ අතර බංගලාදේශය, ශ්‍රී ලංකාව, මියන්මාරය, උස්බෙකිස්ථානය, චීනය, පාකිස්ථානය, වියට්නාමය සහ මැලේසියාව යන රටවල ත්‍රිවිධ හමුදා නිලධාරීහු නිරීක්‍ෂකයින් ලෙස මෙම අභ්‍යාසය සඳහා සහභාගී වූහ.

නිලධාරීන් 14 දෙනෙකුගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරි කණ්ඩායම මෙම යුද පුහුණු අභ්‍යාසයේදී රුසියානු හමුදාව විසින් ඉන්දියානු සටන් කණ්ඩායමේ අතිරේක සංචිතයක් ලෙස කටයුතු කරන ලද අතර අභ්‍යාසයේ අවසාන අදියරයේදී ශ්‍රී ලංකා නිලධාරි කණ්ඩායමට ගුවන් ප්‍රහාර වැළැක්වීමේ කාර්ය සාධක බලකායක් ලෙස කටයුතු කිරීමට පැවරිණි.

මෙම යුද පුහුණු අභ්‍යාසය විවෘත භූමියක්වන රුසියාවේ නිශ්නි නොවෝගෝගාර්ඩ් (Nizhniy Novogogard) කලාපය අසල පිහිටි මුලිනෝ පුහුණු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම යුද පුහුණු අභ්‍යාසයේදී රුසියානු හමුදාව T 72B3M/T72 B4 ප්‍රධාන යුද ටැංකි සහ BTR MDM Rkushka යන භටපිරිස් රැගෙන යන සන්නද්ධ රථ (APCs) සහ නවීකරණය කරන ලද යුධෝපකරණ සහ ඔවුන්ගේ සන්නද්ධ බලකා භටයින් සමඟ යුද අභ්‍යාසවල නිරත වූහ.

මෙම ජාත්‍යන්තර යුද අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේජර් ජෙනරල් ඒ.පී.අයි ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් පී.එන් විජේසිරිවර්ධන, කර්නල් එස්.ඒ හෙට්ටිගේ, කර්නල් එල්.ආර් විජේරත්න, කර්නල් එස්.ඩබ්ලිව්.ආර්. ප්‍රසන්න, කර්නල් කේ.ජී.සී.එම්.එච්. ගම්ලත්, කර්නල් ඒ.එම්.ඒ අබේවර්ධන, කර්නල් එච්.ටී.ඩබ්ලිව්. විද්‍යානන්ද, කර්නල් ටී.එම්.එෆ් කිචිලාන්, කර්නල් එන්.ඩී.පී ගුණතුංග, කර්නල් එම්.ආර් රාසික්, කර්නල් ආර්.පී.එස් ප්‍රසාද්, ලුතිනන් කර්නල් එච්.කේ.පී කරුණාතිලක සහ ලුතිනන් කර්නල් එල්.එන්.යූ ලියනආරච්චි සහභාගී වූහ.