Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2021 21:00:23 Hours

72 වන යුද්ධ හමුදා දිනයට ප්‍රථම බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ

72 වන යුද්ධ හමුදා සංවත්සරයට (ඔක්තෝම්බර් මස 10 වන දිනට) සමගාමීව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (05) දින සන්ධ්‍යාවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට ගෞරව දැක්වීම පිණිස පවත්වනු ලබන මෙම රණවිරු සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කෙරිණි. එහිදි, ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී. එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වන ලදී.

එම අවස්ථාවට එක්ව සිටි රණවිරුවන් දශක තුනක් පුරාවට පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාව දැක්වූ නිර්භීතභාවය විදහාපාමින් අභිමානවත් ලෙස යුද්ධ හමුදා ගීතය ගායනා කළේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රණවිරු ස්මාරකය අභියසට ගමන් කොට මල්කළඹ තැන්පත් කරමින් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්හට පුෂ්පෝපහාර පුද කරන ලදී. පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, බලලත් නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් ඇතුලු යුද්ධ හමුදා සියලු නිලයින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වනු ලැබුූහ.

ක්‍රමයෙන් අඳුර වැටිම ආරම්භවීමත් සමඟ හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකුලව වැයෙන යුද්ධ හමුදා තුර්යවාදක බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

මෙම අවස්ථාව සඳහා පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.