Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2021 12:48:01 Hours

කිරිවෙහෙර පුදබිමේදී සහ කතරගම දේවාලයේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක් සෙනසුරාදා (02) දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී, යුද්ධ හමුදා ධජයන් පෙරටු කරගත් යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් යුද්ධ හමුදා දිනයට (ඔක්තෝම්බර් මස 10 දිනට යෙදුණ) ආශිර්වාද එක්කිරීම සඳහා බැතිමතුන් සමඟ එක්විය.

හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ යුද්ධ හමුදා ධජය, ස්වේච්ඡා බලසේනා ධජය, සියලු ආරක්‍ෂක සේනා මූලස්ථාන ධජයන්, සේනාංක, බලසේනා, රෙජිමේන්තු, පුහුණු පාසල් හා ඒකකයන්ට අයත් ධජයන් රැගෙන යුද්ධ හමුදා සාමාජිකයින් කතරගම කිරිවෙහෙර පුදබීම වටා තෙවරක් පැදකුණු කර හමුදා ධජයන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද පැතීය.

ඉන් අනතුරුව පැවැති විශේෂ කප්රුක් පූජාව සඳහා සහභාගී වූ සියලුදෙනා කිරිවෙහෙර පරිශ්‍රයේ පොල්තෙල් පහන් දැල්විමෙන් අනතුරුව ගිලන්පස පූජාවක් ද පැවැත්විණි.

කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් විසින් එහිදි ආගමික වතාවත් සිදුකර යුද්ධ හමුදාවට ආශීර්වාද එක් කළහ. පසුව, යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉතා ගෞරවයෙන් යුක්තව මහා සංඝරත්නය වෙත පිරිකර පූජා කළහ.

ඉන් අනතුරුව, සුදු නෙළුම් මල් වලින් සැකසු මල් මලා මහසෙන් දේවාලයට පූජා කිරීමේ විශේෂ පූජාවක් ද එහිදී පැවැත්විණි. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් කිරිවෙහෙර රජමහා විහාරයේ සංවර්ධන කටයුතු සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් විහාරාධිපති නාහිමියන් වෙත පූජා කළහ.

යුද්ධ හමුදා ධජ රැගත් යුද්ධ හමුදා සාමාජිකයින් සහ හේවිසි කණ්ඩායම්වලින් සමන්විත පෙරහැර කතරගම පූජාභූමිය වෙත පැමිණිමෙන් අනතුරුව එම ධජ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සංකේතාත්මකව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදි. පසුව, අෂ්ඨඵල බෝධින් වහන්සේ අභියසදී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් අටපිරිකර ද පූජා කළහ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා ධජයන් දේවාල කුටියේ තැන්පත් කර දේවාලයේ තේවාව ආරම්භ කරන ලදි. එහිදී යුද්ධ හමුදාධිපතිතුමා විසින් කතරගම දේවාලයේ සංවර්ධන කටයුතු සඳහා තවත් මුල්‍යම පරිත්‍යාගයක් බස්නායක නිලමේතුමන් වෙත පිරිනැමීය. සම්ප්‍රදායානුකූල චාරිත්‍රයන්ට මුල්තැන දෙමින් ප්‍රධාන දේවාලයේ පැවැති විශේෂ පූජාව මුරුතැන් පූජාවෙන් පසුව අවසන් විය.

එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේදි, උන්වහන්සේ කතරගම පුද බිමෙහි විවේක සුවයෙන් ගත කළ බවත් උන්වහන්සේගේ උද්දේසික ධාතූන් වහන්සේලා නිදන් කොට මෙම කිරිවෙහෙර චෛත්‍යය රාජ්‍යාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ මහාසෙන් රජු විසින් ඉදි කළ බවත් ඉතිහාසයේ සඳහන් වේ.