Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2021 15:30:42 Hours

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායකට ගෞරවාචාර

වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සේන වඩුගේ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2021 ඔක්තෝබර් මස 04 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙත සපැමිණි විශ්‍රාම දිවියට පිවිසෙන මේජර් ජෙනරල් සේන වඩුගේ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරමින් උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ පුහුණු පරීක්‍ෂක බ්‍රිගේඩියර් එස්.එන්. සමරවික්‍රම විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මේජර් ජෙනරල් සේන වඩුගේ වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිරිනැමූහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් සේන වඩුගේ භටපිරිස් අමතමින් සිය සේවා කාලය තුළදී ලබාදුන් නොමසුරු සහයෝගය වෙනුවෙන් සියලුම නිලධාරීන්ට සහ සෙසුනිලයින් වෙත සිය ස්තූතිය පුද කළේය. පසුව, මේජර් ජෙනරල් සේන වඩුගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාව වෙනුවෙන් ඉටුකළ සේවය අගයමින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

එම පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරල් සේන වඩුගේ එම කඳවුරු පරිශ්‍රයේ මෑතකදී ස්ථාපිත කළ ‘ගජනිඳු අරණ’ විවෘත කළේය.

ඉන් අනතුරුව, මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ප්‍රධාන දොරටුව වෙත දිවෙන මාර්ගය දෙපස පෙළ සැදී සිටි නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සුභපැතුම් මධ්‍යයේ මේජර් ජෙනරල් සේන වඩුගේ එම පරිශ්‍රයෙන් නික්ම ගියේය‍. මෙම උත්සවය දැඩි සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් මධ්‍යයේ පැවැත්විණී.