Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2021 12:48:01 Hours

ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් පැවැත්වෙන, ‘මිත්‍ර ශක්ති’ යුද පුුහුණු අභ්‍යාසය අම්පාර සටන් පුහුණු පාසලේදී ආරම්භ කෙරේ.

ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වීමට සැලසුම් කර ඇති 8 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය 53 වන සේනාංකයේ සේනාංකාධිපති සහ මිත්‍ර ශක්ති යුද පුහුණු අභ්‍යාස අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ ප්‍රධානත්වයෙන් අද (05) දින අම්පාර සටන් පුහුණු පාසලේදී ආරම්භ කරන ලදී.

මෙම යුධ අභ්‍යාසය ඉන්දීය යුද්ධ හමුදා සමාජිකයින් 120 ක් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් 120 ක ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

අභ්‍යාස ආරම්භය සනිටුහන් කරමින් අණදෙන නිලධාරි විසින් අභ්‍යාස අධ්‍යක්‍ෂ වෙත අභ්‍යාස ධජය භාර දෙන ලදී. ඉන් අනතුරුව අභ්‍යස අධ්‍යක්‍ෂ මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ පුහුණු වීම් සඳහා භවිතා කිරීමට සැලසුම් කර ඇති අම්පාර සටන් පුහුණු පාසලේ ප්‍රදර්ශනය කර තිබු අවි ආයුධ නිරීක්‍ෂණය කරමින් ඒ පිළිබද දළ අවබෝධයක් ලබාගත්තේය.

සමාරම්භක උත්සව අවස්ථාව සඳහා අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක, නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.

'මිත්‍ර ශක්ති' යුද පුහුණු අභ්‍යාසයට සහභාගී වීම සඳහා කර්නල් ප්‍රකාශ් කුමාර් ගේ (Colonel Prakash Kumar) ප්‍රධානත්වයෙන් යුත් ඉන්දියානු භට කණ්ඩායම ඔක්තෝම්බර් මස 2 දින දිවයිනට පැමිණි අතර, 2021 ඔක්තෝබර් මස 17 දින මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය අවසන් වීමට පෙර පුහුණුවේ අවසන් අදියර ඇගයීමට ලක් කිරීම සඳහා ඉන්දියානු යුද්ධ හමුදාවේ කර්නල් ගිරිෂ් ගොඩියල් (Colonel Girish Godial), කර්නල් ජෝන් ඩැනියෙල් (Colonel John Daniel) සහ ලුතිනන් කර්නල් සුලාගේ මීරා (Lieutenant Colonel Zulage Meera) නිරීක්‍ෂකයින් වශයෙන් සහභාගී වීමට නියමිතව ඇත.

මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා සහභාගි වන භටපිරිස්වලට දෙරට අතර පවතින අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීම, යුද සහයෝගීතාවය, ඒකාබද්ධ මෙහෙයුම් පැවැත්වීම, දෙරට අතර යුද අත්දැකීම් හුවමාරු කර ගැනීම, අන්තර්ජාතික යුද ගැටලු පිළිබඳ අවබෝධය හා අනාගතයේදි සිදුවිය හැකි ආරක්‍ෂක අභියෝගයන් සඳහා සුදානම් විමට අවශ්‍ය ප්‍රමාණවත් දැනුමක් ලබාගැනීමට හැකිවනු ඇත. මෙම අභ්‍යාසය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සමග අම්පාර සටන් පුහුණු පාසලේදී පවත්වනු ලබයි.

ජාත්‍යන්තර කැරලි මර්දන හා ත්‍රස්ත විරෝධී වාතාවරණයකදී උප ඒකක මට්ටමින් උපක්‍රමශීලීව මෙහෙයුම් දියත්කිරිම සඳහා පුරා සති දෙකක කාලයක් පැවැත්වෙන අභ්‍යාසය සඳහා ඉන්දීය යුද්ධ හමුදා භටයින් 120 දෙනෙකු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 120 ක භටපිරිසක් සහභාගී වේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මගපෙන්වීම යටතේ 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම යුද අභ්‍යාසය පවත්වනු ලැබේ.

මෙම අභ්‍යාසය දෙරට අතර වාර්ෂිකව පවත්වනු ලබන යුද පුහුණු අභ්‍යාසයක් වන අතර එය දෙරට අතර පවතින අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කරගැනීමේ අරමුණින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබයි.

මෙම යුද අභ්‍යාසය පවතින කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව, විශේෂ ජෛව බුබුලක් ලෙස පවත්වනු ලැබේ.