Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 18:37:08 Hours

කිලිනොච්චි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යුද්ධ හමුදාවේ සහය ඇතිව අයහපත් කාලගුණික තත්ත්වයන් සඳහා සූදානම් වේ

ඉදිරි කාලසීමාව තුළ ඊසානදිග මෝසම් වර්ෂාපතනයත් සමඟ ඇතිවිය හැකි ස්වාභාවික ව්‍යසන හෝ එවැනි හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණ සාකච්ඡාවක් ඉකුත් සඳුදා (27) දින 571 වන බලසේනා මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙම සම්බන්ධීකරණ සාකච්ඡාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ කෝකුලරාජා මහතා, කිලිනොච්චි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රාජකොපු මහතා, කිලිනොච්චි නැගෙනහිර වාරිමාර්ග ඉංජිනේරු සෙන්තිල්කුමාරන් මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී එස්. චන්ද්‍රන් මහතා, ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් තෙවරතන් මහතා සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ඉදිරි ඊසාන දිග මෝසමත් සමඟ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට සූදානම් වීමේ ක්‍රියාවලිය සහ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇතිවන හදිසි ආපදා අවම කිරීම හා පීඩාවට පත්වුවන්ට සහන සැලසීමේ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.

ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සහ ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ සාමාජිකයින් එක්ව ආපදාවන් අවම කිරීමේ ක්‍රියාවලියක් ඵලදායි ලෙස සැලසුම් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.