Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2021 21:17:09 Hours

8 වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයට සහභාගීවීම සඳහා ඉන්දියානු භට කණ්ඩායම දිවයිනට

යුද්ධ හමුදා සම්බන්ධතා වඩාත් ශක්තිමත් කිරිමේ අරමුණින් ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර පැවැත්වීමට නියමිත 8 වන මිත්‍ර ශක්ති යුද පුහුණු අභ්‍යාසයට සහභාගී වීම සඳහා ඉන්දියානු යුද්ධ හමුදා සමාජිකයින් 120 ක් ඉකුත් සෙනසුරාදා (2) දින මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියහ.

කර්නල් ප්‍රකාශ් කුමාර්ගේ (Colonel Prakash Kumar) ප්‍රධානත්වයෙන් දිවයිනට පැමිණි 'මිත්‍ර ශක්ති' පුහුණු අභයාසයේ ඉන්දියානු භට කණ්ඩායම මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බී.එන්. ගොඩැල්ලවත්ත සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) විසින් ගුවන් තොටුපලේදී උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

අටවන වරටත් ඔක්තෝබර් මස 3 සිට 17 දින දක්වා පැවැත්විමට නියමිත මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා සහභාගි වන භටපිරිස්වලට දෙරට අතර පවතින අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීම, යුද සහයෝගීතාවය, ඒකාබද්ධ මෙහෙයුම් පැවැත්වීම, දෙරට අතර යුද අත්දැකීම් හුවමාරු කර ගැනීම, අන්තර්ජාතික යුද ගැටලු පිළිබඳ අවබෝධය හා අනාගතයේදි සිදුවිය හැකි ආරක්‍ෂක තර්ජන සඳහා සුදානම් විමට අවශ්‍ය ප්‍රමාණවත් දැනුමක් ලබාගැනීමට හැකිවනු ඇත. මෙම අභ්‍යාසය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සමග අම්පාර සටන් පුහුණු පාසලේදී ආරම්භ කිරීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර කැරලි මර්දන හා ත්‍රස්ත විරෝධී වාතාවරණයකදී උප ඒකක මට්ටමින් උපක්‍රමශීලීව මෙහෙයුම් දියත්කිරිම සඳහා පුරා සති දෙකක කාලයක් පැවැත්වෙන අභ්‍යාසය සඳහා ඉන්දීය යුද්ධ හමුදා භටයින් 120 දෙනෙකු ඉන්දියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණියහ. මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 120 ක භටපිරිසක් සහභාගී වීමට නියමිතය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මගපෙන්වීම යටතේ 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම යුද අභ්‍යාසය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම යුද අභ්‍යාසයට සහභාගී වන ඉන්දියානු භට කණ්ඩායමට ඉන්දියානු යුද්ධ හමුදාවේ කර්නල් ප්‍රකාශ් කුමාර් (Colonel Prakash Kumar) විසින් අණදෙනු ලබයි.

2021 ඔක්තෝබර් මස 17 දින මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය අවසන් වීමට පෙර පුහුණුවේ අවසන් අදියර ඇගයීමට ලක් කිරීම සඳහා ඉන්දියානු යුද්ධ හමුදාවේ කර්නල් ගිරිෂ් ගොඩියල් (Colonel Girish Godial), කර්නල් ජෝන් ඩැනියෙල් (Colonel John Daniel) සහ ලුතිනන් කර්නල් සුලාගේ මීරා (Lieutenant Colonel Zulage Meera) නිරීක්‍ෂකයින් වශයෙන් සහභාගී වීමට නියමිතව ඇත.

මෙම අභ්‍යාසය දෙරට අතර වාර්ෂිකව පවත්වනු ලබන යුද පුහුණු අභ්‍යාසයක් වන අතර එය දෙරට අතර පවතින අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කරගැනීමේ අරමුණින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබයි.

මෙම යුද අභ්‍යාසය පවතින කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව, විශේෂ ජෛව බුබුලක් ලෙස පැවැත්වීමට නියමිතව ඇත.