Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 14:38:03 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සේන වඩුගේ ගේ සේවය පැසසුමට

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක සහ ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක මෙන්ම ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සේන වඩුගේ සිකුරාදා (01) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සුහද හමුවේදී, ගැමුණු හේවා බලකායෙන් බිහි වු කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් සේන වඩුගේ දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා සිදුකල කැපකිරීම සිහිපත් කරමින් එතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුභපැතුම් එක් කළේය.

ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක ලෙස මේජර් ජෙනරල් සේන වඩුගේ යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපාය මාර්ගක සැලැස්ම’ සඳහා ඇතුලත් කිරීමට උපායමාර්ගික හා ශාස්ත්‍රීය යෙදවුම් ලේඛනගත කර ලබාදුන් දායකත්වය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි පැසසුමට ලක් කළේය.

එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ලබාදුන් දායකත්වය මෙන්ම නිර්භීතභාවය සහ වීරත්වය වෙනුවෙන් පිරිනමන රණ වික‍්‍රම පදක්කම ඇතුළුව පදක්කම් කිහිපයකින්ම මේජර් ජෙනරල් සේන වඩුගේ පිදුම් ලබා ඇත. ඒ අනුව එතුමන් වෙත රණ ශූර පදක්කම සහ උත්තම සේවා පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම සහ උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම සහ උතුරු හා නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම ආදී පදක්කම් වලින් ද පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරල් සේන වඩුගේ සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ විධායක අධිකාරි, 9 වන ගැමුණු හේවා බලකායේ ආධාරක කණ්ඩයේ සහ සහයක කණ්ඩයේ නිලධාරි අණදෙන, දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, 5 සහ 7 වන ගැමුණු හේවා බලඇණියේ දෙවන අණදෙන නිලධාරි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි, 7 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), 513, 684, 232 සහ 234 වන බලසේනාවන්හී බලසේනාධිපති, අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක, හමුදා ලේකම් කාර්යාලයේ සහකාර හමුදා ලේකම්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 52 වන සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති යන තනතුරු හොබවන ලදී.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් සේන වඩුගේ සිය රාජකාරී කාල සීමාව තුළ යුද්ධ හමුදාපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම පිළිබදව සිය කෘතඥතාවය මෙහිදි පුද කළේය. දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සේවය කර නුඳුරේදි විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශේෂ සමරුතිළිණයක් ද ප්‍රදානය කළේය.