Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2021 05:39:10 Hours

72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව විශේෂ ‘හින්දු’ ආශිර්වාද පූජාවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව හින්දු භක්තිකයන් අතර වඩාත් ගෞරවයට පාත්‍රවූ සහ පිළිගත් ආශීර්වාදයක් ලෙස සැලකෙන ‘අභිෂේකම්’ විශේෂ ආශිර්වාද පූජාවක් කොළඹ 06 මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන් කෝවිලේ දී ඉකුත් සිකුරාදා (01) දින මධ්‍යහනේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරන ලද ‘අභිෂේකම්’ හින්දු පූජා උත්සවය, ආගමික වතාවත් හා චාරිත්‍රානුකූලව, කෝවිල් පරිශ්‍රයේදී පැවැත්වූ අතර එහිදි යුද්ධ හමුදා ධජයන්ට ආශීර්වාද කරන ලදි.

යුද්ධ හමුදා හින්දු සංගමයේ ආරාධනයෙන් එම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවට ආශිර්වාද පතා යුද්ධ හමුදා ධජය කෝවිල් මන්දිරය තුල තැන්පත් කිරීම සඳහා කෝවිලේ ප්‍රධාන පූජකතුමා වෙත පිළිගැන්වීය.

කෝවිලේ ප්‍රධාන කුරුක්කල් ගරු සිවසිරි උදය රාගවගේ ඇතුළු දස දෙනෙකුගෙන් සමන්විත හින්දු පූජකවරුන් පිරිසක් විසින් හින්දු ආගමික පූජා වත්තාවත් සිදුකර 72 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදාවට ආශීර්වාද එක් කළේය.

එහිදි හින්දු සම්ප්‍රදායානූකූලව දෙවිවරුන් වෙත පළතුරු, ගිතෙල් සහ මල්මාලා ආදිය පූජා කිරීමෙන් පසු හින්දු දෙව පිළිම සුවඳවත් ද්‍රව්‍ය වලින් දෝවනය කර ‘අභිෂේක’ පූජාව පවත්වන ලදී.

එම අවස්ථාවේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවට ආශීර්වාද පතා හින්දු කෝවිලේ සංවර්ධන කටයුතු සඳහා මූල්‍යමය අනුග්‍රහයක් දක්වන ලදී. මෙම හින්දු ආගමික ජූජා උත්සවය ප්‍රධාන ජූජක කුරුක්කල් ගරු සිවසිරි උදය රාගව සමග එක්ව යුද්ධ හමුදා භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.

එම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා යුද්ධ හමුදා හින්දු සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ලාල් විජේතුංග විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර ජූජාව සඳහා පවතින සෙඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

72 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් ආගමික වතාවත් සිදුකිරීම සැප්තැම්බර් මස 27 දින මහනුවර දළදා මාලිගාවේදී ආරම්භ කරන ලදී. පසුව ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින කොළඹදී ක්‍රිස්තියානි දේව මෙහෙය සහ ඉස්ලාම් දේව මෙහෙය පවත්වනු ලැබූහ.

මෙම පූජාව සඳහා යුද්ධ හමුදා මණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදා හින්දු සංගමයේ සාමාජිකයින් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.