Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 08:25:00 Hours

“නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු වැදගත් වන්නේ මිනිසුන්ගේ හැසිරීම් රටාවයි” යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී තවත් එක් සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාව ආරම්භයේදී යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමෙන් පසු ගතවූ දින කිහිපය තුළ රට පුරා පැවති කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග, එන්නත්කරණ වැඩසටහන්, වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සහ ඉදිරියට ගනු ලබන පියවරයන් පිළිබඳ රැස්ව සිටි පිරිසට විස්තර කළහ.

“මරණ හා ආසාදිතයින්ගේ අනුපාතය සංඛ්‍යාත්මකව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති හෙයින්, සිකුරාදා (01) උදෑසන දින 46 කට පසු නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් කිරීමට නියමිතව ඇත. සංචරණය, අඛණ්ඩ එන්නත්කරණය, සමාජයේ හා පොදු ස්ථානවල වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවර, නිවෙස් පදනම් කරගත් ප්‍රතිකාර කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම යනාදිය හේතුවෙන් මෙරට වෛරසය ආසාධිතයින්ගේ සංඛ්‍යාව සහ මරණ අනුපාතය අවම කරගැනීමට හැකිවිය. නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ඉදිරි සතිදෙක තුළදී, මහජනතාවට ඒකරාශීවීම සඳහා කිසිදු අවසරයක් ලබා නොදෙන අතර ජනතාවගේ හැසිරීම් රටාවේ මෙහිදි ඉතා වැදගත් වේ.” යැයි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

රටේ ජනගහනයෙන් මිලියන 11.73 කට අධික සංඛ්‍යාවක් මේ වනවිටත් එන්නත්කරණය කර ඇති බවත් තවත් එන්නත් මාත්‍රා මිලියන 31.9 ක පමණ මෙරටට ලැබි ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ ජනගහනයෙන් 67.3% ක් එන්නත්කරණය කර අවසන් කිරීමට නියමිත බවත් දැනට ක්‍රියාත්මක ජාතික එන්නත්කරණ වැඩසටහන පිළිබද අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වන නමුත් නැවත දැනුම් දෙන තුරු කිසිදු දුම්රිය සේවාවක් ක්‍රියාත්මක නොකරන බව එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. “එසේම, නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන්ට 1904 සහ 247 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ කළමනාකරණ පද්ධතිය සාර්ථක වි ඇති අතර මෙම ක්‍රියාවලියට සහයෝගය ලබාදුන් සෑමට ස්තූතිය පුද කරනවා.” යැයි යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ඔට්ටමාවඩි සහ කින්නියා ප්‍රදේශවල සිදුකරනු ලබන කොවිඩ්-19 ආසාදිත මරණ භූමිදාන කටයුතු සහ විදේශිය රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයින් සඳහා නිකුත් කරන නව සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානිගේ අවධානයට ලක්විය.

එසේම, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු සෞඛ්‍ය විශේෂඥයින් කිහිපදෙනෙකු මාර්ග ගත ක්‍රමවේද ඔස්සේ (zoom technology) මෙම සාකච්ඡාවට සම්බන්ධ වූහ.