Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 06:05:21 Hours

ගුවන් සංග්‍රාමික පැරෂුට් පුහුණුව ලැබු ත්‍රිවිධ හමුදා සෙබළුන් විසිර යයි

සංග්‍රාමික ගුවන්භඨ හා පාත්ෆයින්ඩර් පාඨමාලා අංක: 02 සහ මූලික පැරෂුට් පාඨමාලා අංක 86 යටතේ සාර්ථකව පුහුණුව හැදැරු ත්‍රිවිධ හමුදා භටයින් 74 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (29) දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි 22 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ පැවැත්විණි.

මෙම විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, අතිරේක ප්‍රහාරක බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි විසින් උණූසුම් අයුරින් පිළිගත්තේය.

කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් ආරම්භ කරන ලද මෙම පාඨමාලා දෙක, දිවයින පුරා පිහිටි යුද, නාවික හා ගුවන් හමුදා පුහුණු පාසල් කිහිපයක් ආවරණය වන පරිදි පැවැත්විණි.

කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, නාවික හමුදා විශේෂ බෝට්ටු බලකාය සහ ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් බලකාය ඇතුළු ත්‍රිවිධ හමුදා විශේෂ ක්‍රියාන්විත බලකායන් වල ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ගුවන් සංග්‍රමික කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැති මෙවර සංග්‍රාමික ගුවන්භඨ හා පාත්ෆයින්ඩර් පාඨමාලාව සඳහා නිලධාරියෙකු සහ සෙසුනිලයින් 25 දෙනෙකු සහභාගි වු අතර 2021 ජූලි මස 26 වන දින පාඨමාලාව ආරම්භ කෙරිණි.

විසිරයාමේ උත්සවය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සංග්‍රාමික ගුවන්භඨ හා පාත්ෆයින්ඩර් පාඨමාලා සාර්ථකව හැදෑරු නිලධාරියා සහ සෙසුනිලයින් වෙත නිල ලාංජන පැළද විය. මෙම උත්සවය පවතින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.

පාඨමාලාව සාර්ථකව හැදැරු භටපිරිස් ඇමතු යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සියලුදෙනාට සිය සුභපැතුම් එක් කරමින් රට වෙනුවෙන් යුතුකම් ඉටුකිරිමේ වැදගත්කම පිළිබද කරුණු අවධාරණය කළේය. පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිර යන භටපිරිස් සමග ගනු ලැබු සමුහ ඡායාරූපයක් සඳහා ද එක්විය. ඉන් අනතුරුව පැවැති සියලු නිල තේපැන් සංග්‍රහය සඳහා සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් එදින විසිර ගිය භටපිරිස් සමග සුහදව අදහස් හුවමාරු කරගත්හ.

2021 ජුලි මස 26 දින ආරම්භ කරනු ලැබු මුලික පැරෂුට් පුහුණු පාඨමාලා (BAC) අංක: 86 සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ සෙබලුන් 24 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 48 දෙනෙකු සහභාගි වූහ. මුලික පැරෂුට් භටයෙකු ලෙස සුදුසුකම් ලබාගැනීමට මුලික පැරෂුට් පාඨමාලාව තුලදී රාත්‍රි පැරෂුට් පැනුම් ද ඇතුළුව දින 5 ක් තුල පැනීම් 5 ක් සාර්ථකව සිදුකල යුතුය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය, කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති මෙන්ම 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාර, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිංහ, යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ මණ්ඩලවල අධ්‍යක්‍ෂවරුන් ඇතුළු කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.

1979 වර්ෂයේ දෙසැම්බර් මස 29 වන දින කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරි 3 දෙනෙකු සහ සෙසුනිලයින් 23 දෙනෙකු ඉන්දියාවේ අග්‍රා පැරෂූට් පුහුණු පාසලෙන් මුලික පැරෂූට් පුහුණුව ලබා විසිරයාමත් සමග ශ්‍රී ලංකාවේ පැරෂූට් පැනීම් ඉතිහාසයේ ආරම්භය සනිටුවහන් විය. එහිදි කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිර්මාතෘ වන මේජර් එස්. ඩි. පිරිස් පැරෂූට් පැනීම් සිදුකල ප්‍රථම ශ්‍රී ලාංකීය පැරෂූට් භටයා ලෙස ඉතිහාසයට එක් විය. පසුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට පැරෂූට් පුහුණු වීම් සිදුකිරිමේ අරමුණින් 1990 ඡනවාරි මස 29 වන දින කමාන්ඩෝ සෙබලුන්ගෙන් යුත් කණ්ඩායමක් සදහා ප්‍රථම මුලික පැරෂූට් පාඨමාලාවක් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු කදවුරේදි සාර්ථකව පවත්වන ලදි.