Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 18:45:08 Hours

යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරමින් විශේෂ ඉස්ලාමීය ආගමික වැඩසටහනක්

72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද පූජාවක් බ්‍රහස්පතින්දා (30) දින උදෑසන කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා ඉස්ලාමීය පල්ලියේදී පැවැත්විණි. එහිදී, ඉස්ලාමීය ආගමික වතාවත් සිදුකර යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක් කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් අෂ්කර් මුතාලිෆ්, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයේ සභාපති අල්-හජ් මොහොමඩ් මවුලවීතුමන් සහ පල්ලියේ භාරකාර මණ්ඩලයේ ලේකම් ඇතුළු සාමාජිකයින් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

ඉන් අනතුරුව, ත්‍රිවිධ භාෂා මගින් සිදුකළ පිළිගැනීමේ දෙසුමේදී යුද්ධ හමුදා සංවත්සර සැමරුම් වෙනුවෙන් ඉස්ලාමීය ආගමික යාඥාවේ වැදගත්කම පැහැදිලි කරදෙන ලද අතර, ආගමික සම්ප්‍රදායානුකුලව සැරසු පල්ලිය තුල යාඥා මෙහෙයන් ආරම්භ කරන ලදී.

රටේ අභීවෘද්ධිය උදෙසා යුද්ධ හමුදාව විසින් සිදු කරන ලද අපරිමිත මෙහෙය අගයමින් ඉස්ලාමීය ආගමික චාරිත්‍රානුකූල ‘බයාන්’ (Bayan) (ආගමික දේශනය) පවත්වමින් යුද්ධ හමුදා ධජයන්ට සහ යුද්ධ හමුදාවට ආශිර්වාද එක්කරන ලදී.

කොල්ලුපිටිය ජුම්මා පල්ලියේ ඒ.බී.එම්. රිස්වාන් මවුලවිතුමන් විසින් ‘කිරාත්’ (Qirath) (විශේෂ ස්තෝත්‍ර යාතිකා) යාඥාවක් සහ අම්හර් හකීම්ඩීන් මවුලවිතුමන් විසින් 'දුආ' (Dua) ආශිර්වාද යාඥාවක් පිළිවලින් පවත්වමින් යුද්ධ හමුදාවට ආශිර්වාද එක් කරන ලදී.

මෙම උත්සවය අතරතුරදී, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයේ සභාපති අල්-හජ් මොහොමඩ් මවුලවීතුමන් භාරකාර මණ්ඩලය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරුතිළිණයක් ප්‍රදානය කල අතර භාරකාර මණ්ඩලයේ ලේකම් අල් හජ් අයි.එස්. හමීඩ් මවුලවීතුමන්, ශුද්ධ වූ අල් කුර්ආනයේ පිටපතක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කළේය.

ආගමික උත්සවය අවසානයේදී ඉස්ලාමීය පූජනීය සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා මුල්‍ය පරිත්‍යාගයක් ද සිදුකල යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, රට තුළ පවතින සහජීවනය, සමගිය සහ සංහිඳියාව පිළිබඳව මවුලවිතුමන්ලා සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්හ.

යුද්ධ හමුදා මුස්ලිම් සංගමය විසින් සංවිධානය කරනු ලැබු මෙම ආගමික උත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

මෙම ආගමික උත්සවය 72 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලැබු දෙවන ආගමික උත්සවය වන අතර යුද්ධ හමුදාවට සහ ධජයන්ට ආශිර්වාද එක්කරමින් තවත් ආගමික උත්සවයක් මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී ඉකුත් සඳුදා (27) දින පැවැත්විණි.