Header

Sri Lanka Army

Defender of the Nation

28th September 2021 09:10:36 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර සැමරුමට ආශීර්වාද එක් කිරීමේ ආගමික වතාවත් ශ්‍රී දළදා මාලිගාවේදී ඇරඹේ

‘ජාතියේ ආරක්‍ෂකයින්’ ලෙස ඉමහත් ප්‍රශාංසාවට සහ ගෞරවාදරයට පත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරයට (ඔක්තේබර් මස 10 දින) ආශිර්වාද එක් කිරිමේ සහ ධජයන්ට සෙත් පැතීමේ සමාරම්භක ආගමික උත්සවය ඉකුත් සඳුදා (27) දින සන්ධ්‍යාවේ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික, පාරිභෝගික සහ උද්දේසික යන ධාතූන් වහන්සේලා බැතිමතුන්ට වන්දනාමාන කිරීම උදෙසා තැන්පත් කර ඇති ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් එම ආගමික උත්සවය පැවැති අතර, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත්හ.

කොවිඩ්-19 වෛරසය මෙරටින් තුරන් වේවායි යන අධීෂ්ඨානය පෙරදැරීව රටට සහ සියලුම ශ්‍රී ලාංකීකයින්ට ආශීර්වාද එක් කරමින් මෙම ආගමික වැඩසටහන පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ධජය ඇතුළු මාතෘභූමියට සාමයේ අරුණළු උදාකිරීමට දායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලසේනාව, සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා, පුහුණු මධ්‍යස්ථාන, සියලුම රෙජිමේන්තු සහ ඒකකයන්වල වර්ණවත් ධජයන් රැගෙන එම අංශයන් නියෝජනය වන පරිදි යුද්ධ හමුදා නිලධාරින් මහත් අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ශ්‍රී දළඳා මාළිගාවේ ප්‍රධාන දොරටුව අසල සිට දළඳා මාලිගාවේ උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා පත්තිරිප්පුව වෙත ඉතා ශ්‍රද්ධා සිතින් යුතුව පැමිණියහ.

යුද්ධ හමුදාවේ ප්‍රධානියා ලෙස යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සංකේතාත්මකව යුද්ධ හමුදා ධජය ආශිර්වාද එක්කිරීම සඳහා රැගෙන ගියේය. පසුව, ආගමික වතාවත් මධ්‍යයේ සෙත් පිරිත් සජ්ඣායනා කර රට ආරක්‍ෂා කිරීම උදෙසා කැපවු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි ගමනට ආශිර්වාද එක් කරමින් තේවාව භාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් ධජයන්ට සෙත් පැතීය.

යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක් කිරීමේ මෙම ආගමික උත්සවය සඳහා වැඩමවා වදාළ මල්වතු පාර්ශවයේ මහලේකම් ශ්‍රීමෝපාලි මහා නිකායේ පූජ්‍ය ආචාර්ය පහමුණේ සුමංගල නායක හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකර දශක තුනකට අධික කාලයක් පැවැති කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදවාගැනීම සඳහාත් මෑත කාලීනව ඇතිවු පීඩාකාරී සිදුවීම් වලදීත් රටේ සියලුම ශ්‍රී ලාංකීකයින්ගේ ආරක්‍ෂාව උදෙසාත් රටේ යහපත උදෙසාත් යුද්ධ හමුදාව සිදුකල අසීමිත කැපකිරීම් සිහිපත් කරමින් අනුශාසනාවක් ද සිදුකළහ.

මෙම ආගමික උත්සවයේ සියලු කටයුතු මහනුවර, පල්ලෙකැලේ පිහිටි 11 වන සේනාංක සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ එම සේනාංක මූලස්ථානය විසින් සංවිධානය කරන ලදී.

මෙම ආගමික උත්සවයේ ආරම්භයේ සාම්ප්‍රදායික බෙර වාදනයන් මධ්‍යයේ ‘ගිලන්පස’ පූජාවක් ද පැවැත්විණි. එහි සාම්ප්‍රදායික චාරිත්‍රයන් අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද හමුවිය.

එහිදී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් අභිමුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කරන ලද මූල්‍යමය පරිත්‍යාගය පිළිගත් දියවඩන නිලමේතුමන් යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් සිය සුභාෂිංශනයන් එක් කළේය.

මෙවර ආගමික උත්සවය සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව අවම පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති අතර යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වෙත සම්ප්‍රාප්තවීමෙන් අනතුරුව යුද්ධ හමුදා ධජයන්ට ආශීර්වාද එක්කිරීමේ ආගමික උත්සවය ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ‍මේජර් ජෙනරල් සේන වඩුගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරු, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.

මාතෘභූමියේ ආරක්‍ෂාව උදෙසා රටේ ප්‍රධානම ආරක්‍ෂක හමුදාව ලෙස නිර්භිතභාවයෙන් අසීමිත කැපකිරීම් සිදුකර වර්තමානයේ ජාතික ආරක්‍ෂාව හා ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයේ නියැලී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වර්ෂ 1949 ඔක්තෝබර් මස 10 දින ආරම්භ කරන ලදී. 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව මහා බ්‍රිතාන්‍යයේ අර්ල් ඔෆ් කිත්නස් (Earl of Caithness) බ්‍රිගේඩියර් රොඩරික් සින්ක්ලෙයාර්ගේ (Brigadier Roderick Sinclair) අණදීම යටතේ ලංකා හමුදාව සිය පළමු නිත්‍ය බලකාය පිහිටුවන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෙවීගිය වසර 72 ක සාඩම්භර ඉතිහාසයට යුද්ධ හමුදාධිපතිවරුන් 23 දෙනෙකු අණදීම සිදුකර ඇති අතර යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා එය මහත් පිටිවහලක් විය. පාබල, ආධාරක සහ සේවා රෙජිමේන්තු 25 කින් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අද්විතියභාවය මෙන්ම රට වෙනුවෙන් සිදුකරනු ලබන අතිවිශිෂ්ට සේවාව හේතුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙරට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍රවී ඇත.