27th September 2021 12:09:18 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 36 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් සෙනසුරාදා (25) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.
මෙම උත්සවයට සහභාගි වූ මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ප්‍රථමයෙන්, රට වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුද කළහ.
ඉන් අනතුරුව, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ වෙත පිරිනැමුවේය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් සියලුම නිලධාරින් සමඟින් ගනු ලැබු සමුහ ඡායාරූපයකට එක්වු නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සෙසුනිල භෝජනාගාරයේ පැවති සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය. මෙම උත්සවය සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැත්විණි.