Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2021 12:26:35 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් නව ආඥාපති ලෙස බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන් රාජකාරි අරඹයි

ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන් පසුගිය බදාදා (15) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මූලස්ථානයේ 16 වන ආඥාපති ලෙස රාජකාරි කටයුතු භාරගැනීම සඳහා සපැමිණි නව ආඥාපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් පුදකළහ.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම උත්සවය අතරතුරදී, බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන් ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ නව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් ඒ යටතේ ස්ථාපිත සියලුම භඨකාර්ය සම්පාදන ඒකකවල අණදෙන නිලධාරින් අමතමින් එම ප්‍රදේශයේ සිදුකරනු ලබන රාජකාරින් විධිමත්ව සිදුකිරීම සඳහා එතුමන් සතු අනාගත උපායමාර්ගයන් පැහැදිලි කරන ලදී. නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම හෙතෙම යුද්ධ හමුදා මූලස්ථානයේ විනායාරක්‍ෂකාධිපති ධුරය හෙබවිය.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කටයුතු සිදුකළ ඉංජිනේරු සේවා බලකායේ මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමත් සමඟ බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන් එම ධූරයට පත්විය. බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන් ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් ධූරයට අමතරව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක ධුරයද හොබවනු ලබයි.

මෙම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් සහ එම මූලස්ථානය යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදන ඒකකයන්වල අණදෙන නිලධාරින් සහභාගී වූහ.