Header

Sri Lanka Army

Defender of the Nation

16th September 2021 10:00:32 Hours

කිලිනොච්චි භටපිරිස් එම ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරයි

කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් කිලිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් එම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි පුරවැසියන්ට එන්නත්කරණය තවදුරටත් පුළුල් කරමින් පසුගිය අඟහරුවාදා (14) දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම ජාතික එන්නත්කරණ වැඩසටහන අතිරේක ප්‍රහාරක බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ උපදෙස් මත ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි මූලස්ථානයේ මුලිකත්වයෙන් ක්‍රියාවට නැංවිණි.

මෙම වැඩසටහන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි මේජර් ජෙනරල් නිලාම් හේරත්, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව හා 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරින් සහ කිලිනොච්චි යුද්ධ හමුදා මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ උපදෙස් සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම මත ජංගම එන්නත්කරණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කරමින් යුද්ධ හමුදාව විසින් මේ වනවිට දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී.